2022 මුල් මාස 7දී සංචාරක කර්මාන්තයෙන් ඩො. මි. 824.9ක ආදායමක්

පසුබෑමට ලක්ව තිබෙන මෙරට ආර්ථිකයට දැවැන්ත ශක්තියක් එක්කරමින් මේ වසරේ මුල් මාස 7ක කාලයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 824.9ක ආදායමක් උපයා ගැනීමට මෙරට සංචාරක ක්ෂේත්‍රය සමත්ව තිබේ.

කෙසේ වුවද පසුගිය 2021 වසරේ එම කාලයේ දී සංචාරක ක්ෂේත්‍රයෙන් මෙරටට ලැබී තිබෙන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 50.4ක් වන අතර මේ වසරේ දී එහි වර්ධනය සියයට 1536.8ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.

මේ වසරේ ජූලි මාසයේ දී පමණක් සංචාරක කර්මාන්තයෙන් ශ්‍රී ලංකාව උපයා තිබෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 30.7ක් වන නමුත් පසුගිය වසරේ ජූලි මාසයේ දී උපයා තිබෙන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1.3ක් තරම් අවම අගයක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වා දෙයි.

මේ වසරේ ජූලි මාසයේ දී පමණක් විදෙස් සංචාරකයන් 47,293 දෙනකු මෙරටට පැමිණ තිබෙන අතර එය පසුගිය වසරේ ජූලි මාසයේ මෙරටට පැමිණි 2,429ට සාපේක්ෂව සියයට 1,847.1ක වර්ධනයකි. ඊට අමතරව මේ වසරේ ජූලි මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සංචාරය කර තිබෙන සංචාරකයන් සංඛ්‍යාව 458,670ක් වන නමුත් පසුගිය වසරේ දී මෙරටට පැමිණ තිබෙන සංචාරකයන් සංඛ්‍යාව 194,495 දෙනකු බවද එම වාර්තාව පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published.