ගුවන් යානා ඉන්ධන පිළිබද ගත් තීරණය

ශ‍්‍රී ලංකාවට පැමිණෙන හා පිටව යන ගුවන් යානා සඳහා කිසිදු බාධාවකින් තොරව ගුවන්යානා ඉන්දන ලබා දීමට වැඩපිළිවෙළක ඇති අවශ්‍යතාවය වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා  විසින් පෙන්වා දෙයි

ගුවන්යානා ඉන්දන ලබා ගැනීමට ඇති අපහසුතාවය මත ශ‍්‍රී ලංකාවට පැමිණෙන හා ශ‍්‍රී ලංකාවෙ‍න් පිටවන ගුවන් යානා ප‍්‍රමාණය සැලකිය යුතු ප‍්‍රමාණයකින් අඩු වී ඇති බව පසුගියදා අනාවරණය විය.  මෙම තත්ත්වය වහා වෙනස් කොට ගුවන් සේවා ක්ෂේත‍්‍රයේ ස්ථාවර කිරීම සඳහා ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබඳව අදාල ආයතන සමග වූ විශේෂ සාකච්ඡාවක් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් අමාත්‍යාංශය ශ‍්‍රවණාගාරයේ දී පසුගිය දා පැවැත්විණි.

මෙම සඳහා ශ‍්‍රී ලංකාවේ සියලූ‍ම ගුවන්සේවා සමාගම් නියෝජනය කරමින් නියෝජිතයින් සිවිල් ගුවන් සේවා අධිකාරියේ බලධාරීන් හා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරින් ද සහභාගි වූහ.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින්, ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට මෙම අවශ්‍යතාවය සපුරාලීමට නොහැකි නම්, ගුවන්යානා සඳහා වන ඉන්දන ශ‍්‍රී ලංකාවට ගෙන ඒමට පෞද්ගලික අංශයේ පාර්ශව සඳහා ඉඩ සැලසිය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කරන ලදී.

මේ පිළිබඳව අදහස් පළකල ගුවන් සේවා ක්ෂේත‍්‍රය නියෝජනය කරමින් එක් වූ සමාගම් කීපයක්ම දක්වා සිටියේ, ඛණිජ තෙල් සංස්ථාව හා ඛණිජ තෙල් අමාත්‍යංශය විසින් අවශ්‍ය අවසරය හා පහසුකම් ලබා දෙන්නේ නම් ගුවන්යානා ඉන්දන ඔවුන්ගේ වියදමින් ශ‍්‍රී ලංකාවට ගෙන ඒමටත් බෙදා හැරීමටත් සූදානම් බවයි.

ඛණිජ තෙල් සංස්ථාවේ නියෝජිතයින් අදහස් දක්වමින් පවසා සිටියේ මේවන විට බොරතෙල් නෞකා දෙකක් ශ‍්‍රී ලංකාවට ළඟා වී ඇති බවත් ඒවා පිරිපහදු කිරීමේ කටයුතු අනුව සපුගස්කන්ද පිරිපහදුව මගින් දිනකට මෙට්ටි‍්‍රක් ටොන් හයසීයක් පමණ ගුවන්යානා ඉන්දන ලබා දිය හැකි බවත් ය. ඒ අනුව මෙම මස 20 වනදා සිට අඛණ්ඩව ගුවන්යානා ඉන්දන සැපයීමට හැකි බවය.

ඒ පිළිබඳව අවධානය යොමු කළ අමාත්‍යවරයා එක් එක් ගුවන් සේවාවන් සඳහා අවශ්‍ය දෛනික ඉන්දන ප‍්‍රමාණයන් හා එය ලබාදීම සඳහා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ගන්නා පියවර පිළිබඳව ක‍්‍රමවත් වැඩපිළිවෙළක් නිසි අධ්‍යයනයකින් සකස් කරන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරියට උපදෙස් දෙන ලදී.

විශේෂයෙන් සංචාරක සමය ආරම්භ වන ඉදිරි මාසවලදී ගුවන් ගමන් වැඩි ප‍්‍රමාණයක් කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන බවත් අවශ්‍ය ගුවන්යානා ඉන්ධන ප‍්‍රමාණයන් නොකඩවා ලබා දීම අත්‍යවශ්‍ය බව  ද ගුවන්සේවා නියෝජිතයින් පෙන්වා දෙන ලදී.

ගුවන්යානා ඉන්දන වැඩි ප‍්‍රමාණයක් ගබඩා කිරීම සඳහා පහසුකම් සලසා දීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කළ යුතු බව ද, මේ පිළිබඳව පරීක්ෂාකර බලා අනාගත අවශ්‍යතාවයන් සැලකිල්ලට ගනිමින්  ගුවන් තොටුපොළේ මෙන්ම ඉන් පිටතත් අවශ්‍ය ඉන්දන ගබඩා ඇති කිරීම සඳහා පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

Leave a Reply

Your email address will not be published.