ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක බලාපොරොත්තුවක්

22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීයය ක්‍රීඩා උළෙලේ දී  ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් ලබාදෙමින් මල්ලවපොර ඉසව්වේ ලෝකඩ පදක්කමක් දිනා දුන් නෙත්මි අහිංසා පෝරුතොටගේ ක්‍රීඩිකාව ඊයේ (15)ඇයගේ පුහුණුකරු හා ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ නිළධාරීන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එම අමාත්‍යාංශයේදී හමුවූහ.

පුහුණුවීම් කටයුතු සමඟ ඇයගේ අධ්‍යාපන කටයුතු  සමබරව පවත්වාගෙන යාම පිළිබදව එහිදී සාකච්ඡා විය. 

මීළඟ ඔලිම්පික් තරගාවලියට හා අ.පො.ස. උසස් පෙළ විභාගයට එකවර මුහුණදීමට සිදුවීම ඇයට යම් ගැටලුකාරි තත්ත්වයක් ඇතිවී තිබේ.  මෙවැනි සුවිශේෂී අවස්ථාවල ජාත්‍යන්තර පදක්කම් දිනා දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අ.පො.ස.උසස් පෙළ විභාගය වෙනුවට එයට සමගාමී පාඨමාලාවක් සමඟ උපාධිය හැදෑරීමේ විශේෂ ක්‍රමවේදයක් හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් උපාධි අවස්ථාවක් ලබාගැනීමට ඇති හැකියාවක් තිබේදැයි සොයා බලන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දුණි. මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට එහිදී තීරණය විය.

දක්ෂ ක්‍රීඩකයෙක්, ක්‍රීඩිකාවක් බිහිවීමට පෝෂණය ඉතා වැදගත් කරුණක් බැවින් නෙත්මි ක්‍රීඩිකාවගේ ආහාර පිළිබද අමාත්‍යවරයා විමසා සිටියේය. ඇය සාමාන්‍ය පරිදි උදෑසන ආහාරයට ධාන්‍ය වර්ග භාවිතා කරන බවත්, දහවල් ආහාරය සදහා කොස්,දෙල්, ගම් බිත්තර ද, බත් අඩුවෙන් එළවළු ව්‍යාංජන වැඩිපුර ආහාරයට ගන්නා බවත් එහිදී පැවසීය. එසේම ඇය රාත්‍රියට සුප් පානයක්, සැහැල්ලු ආහාරයක් ලබාගන්නා අතර කිසිදු දිනක කිරිපිටි වර්ග, පෝෂණ අතිරේක ලබා නොගත් බව පවසා සිටියාය. ඇයගේ පුහුණුකරුගේ ඉල්ලීම වූයේ ආමන්ඩ් තුළින් වැඩි ශක්තියක් ශරීරයට ලැබෙන බවත්, ඒවා ගෙන්වා ගැනීම අවශ්‍ය බවත් ය. 

2 ශ්‍රේණියේ (Level 2) විදේශීය පුහුණුකරුවෙකු ගෙන්වාගෙන ශ්‍රී ලංකාවේ සිටින මල්ලවපොර පුහුණුකරුවන් විධිමත්ව පුහුණුකරවා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල 2 ශ්‍රේණිය දක්වා උසස් කිරීමට අවශ්‍ය පාඨමාලාවක් පැවැත්වීමට අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගය ලබා දීමටත් අමාත්‍යවරයා එකඟ විය. 

ක්‍රීඩාව තුළින්, තරුණයින්ගේ විනය ගොඩනැගෙනවා. පාසල් අධ්‍යාපනය අතරතුරම සෑම දරුවෙක් ම කුමන හෝ ක්‍රීඩාවකට යොමු කිරීම තුළින් ඒ දරුවා සමාජයේ ජය පරාජය සමව දරා ගැනීමට,  අභියෝගවලට නොසැලී මුහුණදීමට මනා පෞරුෂයක් ගොඩනගා ගන්නවා. පාසල ආරම්භ කිරීමට ප්‍රථම පාසල් දරු දැරියන් සදහා ව්‍යායාම, ක්‍රීඩා කටයුතු සදහා අවස්ථාව ලබා දීමෙන් දරුවන් වෙහෙසට පත්වී, දහඩිය දමමින් පංති කාමරය තුළ අධ්‍යාපන කටයුතු සදහා යොමුවීම ඉතා අසීරුයි. ඒ නිසා පාසල අවසන් වීමට පෙර පැයක පමණ කාලයක් දරුවන්ට ක්‍රීඩා කටයුතුවල යෙදීමට අවස්ථාව ලබා දිය යුතු යයි මම යෝජනා කරනවා. අපි අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡාවේදී මෙම කරුණු සාකච්ඡා කිරීමට පියවර ගතයුතු යැයි ද එහි දී අමාත්‍යවරයා පැවසීය.  

නෙත්මි අහිංසා ක්‍රීඩිකාව හා පුහුණුකරු මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශයට පෞද්ගලික වියදමින් පැමිණීම ගැන කණගාටුව ප්‍රකාශ කළ අමාත්‍යවරයා රටට මෙවැනි කීර්තියක් මෙන්ම ගෞරවයක් ද ගෙන දුන් ක්‍රීඩිකාවක් වෙත මීට වඩා අවධානය යොමු කළ යුතු බව පෙන්වා දුන්නේය. මින් පසු රටට කීර්තියක්, ගෞරවයක් ලබා දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අමාත්‍යාංශයට පැමිණෙන විට සුදුසු පරිදි අමාත්‍යාංශයේ වාහනයක් ලබා දීමට කටයුතු කරන ලෙස ලේකම්වරයාට දැනුම් දුන් අතර, ඒ සඳහා අනුමැතිය දීමට කිසිදු පැකිලීමකින් තොරව ක්‍රියාකරන බව ද අමාත්‍යවරයා දැන්වීය. එවැනි යහපත් ක්‍රියා සිදුකර ඉදිරියේදී බන්ධනාගාර ගතවූවත් හෘදසාක්ෂිය අනුව වැඩ කටයුතු කිරීම තමාට සතුටට කරුණක් බවත් අමාත්‍යවරයා පැවසීය.   

ටොරින්ටන් ක්‍රීඩාංගණය අසළ පිහිටි ක්‍රීඩා සංගම් පියස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ක්‍රීඩා සංගම් සදහා කාර්යාලයක් ලෙස පවත්වාගෙන යාමට ඉඩ සළසන ස්ථානයේ  කාර්යාල කාමර මීට පෙර පෞද්ගලික හිතවත්කම් මත, දේශපාලන පදනම් මත බෙදා වෙන් කර තිබෙන බව ආරංචි වූණා. ඇතැම් සංගම් ලබා දී තිබෙන කාර්යාල ඉඩ සීමාවේ ගබඩා කාමර ලෙස අපිළිවෙළට පවත්වාගෙන යන බව නීරීක්ෂණය වී තිබෙනවා. මින් පසුව කිසිදු දේශපාලන පදනමකින් හෝ හිතවත්කම් මත එහි කාර්යාල බෙදා වෙන් කරන්නේ නැහැ. සංගම් හෝ සම්මේලන සඳහා කාර්යාල වෙන් කිරීමේ දී රටට ගේන පදක්කම් මත, ලැබූ ජයග්‍රහණ මත එහි කාර්යාලයක වර්ග අඩි ප්‍රමාණය තීරණය වෙන ක්‍රමවේදයක් සකස් කර එම පහසුකම් ලබා දෙන්න මම කටයුතු කරනවා. ක්‍රීඩා සංගම් මැදුර ලෙස මන්දිරයක් ආකාරයට වඩාත් ගෞරවාන්විතව එහි කටයුතු සිදු කිරීමට සෑම නිළධාරියෙකුම මා හට සහයෝගය ලබා දෙනු ඇතැයි මා විස්වාශ කරනවා යයි අමාත්‍යවරයා පැවසීය.

මීළඟ ඔලිම්පික් තරගාවලියේදී ඔලිම්පික් පදක්කමක් රටට හිමිකරදීමේ ඉලක්කය කෙසේ හෝ සපුරන බවත්, ඒ සඳහා මල්ලවපොර සම්මේලනයේ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ සහයෝගය අඛණ්ඩව ලබා දෙන ලෙසත් නෙත්මි අහිංසා ක්‍රීඩිකාවගේ පුහුණුකරු වන සුරංග කුමාර මහතා ඉල්ලා සිටියේය. ඔහුගේ ඉල්ලීම පරිදි ක්‍රීඩා අමාත්‍යාංශයේ හා මල්ලවපොර සම්මේලනයේ නොමඳ සහාය ලබාදෙන බවත් මීළග ඔලිම්පික් තරගාවලියේදී ශ්‍රී ලංකාවට මල්ලවපොර ඉසව්වෙන් පදක්කමක් හිමිකරගැනීමේ බලාපොරොත්තු සහිතව මෙම සාකච්ඡාව නිමා කරනු ලැබීය.

මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ සභාපති සරත් හේවාවිතාරණ, එහි ලේකම්, ආර්.එම්.අජන්ත රත්නායක, භාණ්ඩාගාරික එච්.එම්.ඩී.ක්‍රිෂාන්ත යන මහත්වරුන් සමඟ මල්ලවපොර ක්‍රීඩිකා චමෝද්‍යා හේෂානි දැරිය ද සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published.