ඉන්දු – පාකිස්තාන තරගයේ ටිකට් පැය දෙකෙන් විකිණී අවසන්

ආසියා ක්‍රිකට් කුසලාන ප්‍රවේශපත්‍රවලින් පමණක් ඩොලර් මිලියන 1.5ක් මුදලක් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන විස්සයි 20 ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර තරගයේ සියලු ප්‍රවේශපත්‍ර පැය දෙකහමාරකට අඩු කාලයකදී විකිණී අවසන් වෙයි. මේ හේතුවෙන් බොහෝ දෙනකුගේ බලාපොරොත්තු සුන් වී ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය ඊයේ අනාවරණය කළේය.

ආසියා ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ආදායමෙන් ද ඩොලර් මිලියන 1.5ක මුදලක් සත්කාරක ශ්‍රී ලංකාවට ලැබෙන අතර, සත්කාරක අයිතිය වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 2.5 ක මුදලක් ඇතුළුව මුළු තරගාවලියෙන් අමෙරිකා ඩොලර් මිලියන 6.5ක පමණ ආදායමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමි වේ. එවැනි පසුබිමක මෙලෙස ආසියා ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවියට ඉහළ ඉල්ලුමක් පැවැතීම විශේෂත්වයක් වී තිබේ.

මේ මස 27 වැනිදා ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තරගයෙන් තරගාවලිය ආරම්භ වන අතර, 28 වැනිදා ඩුබායිහිදී ඉන්දියා – පාකිස්තාන තරගය පැවැත්වීමට නියමිතය. පෙරේදා දිනයේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම උදෙසා ප්‍රේක්ෂකයන් අලුයම 4 සිට පෝලිම් ගැසී සිටි බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

අතිශයින්ම ඉහළ ඉල්ලුමක් හේතුවෙන් පළමුව පැමිණෙන්නන්ට පළමු සේවා සැලසීමේ ප්‍රතිපත්තියේ පිහිටුවා ඩුබායි සහ සාජා හි තරගවල ප්‍රවේශපත් මිලදී ගැනීම උදෙසා වෙනම අන්තර්ජාල පහසුකම් ද සලසා තිබිණි. එම අන්තර්ජාල පහසුකම ඔස්සේ එක් වූ ප්‍රේක්ෂකයන්ට එම වෙබ් අඩවියට පිවිසි වේලාව මත පදනම්ව පෝලිමක සිටීමට වූ බව සංවිධායකයෝ සඳහන් කළහ. එබැවින් ඔවුන්ගේ වාරය එන තුරු බලා සිටින රසිකයන්ට අන්තර්ජාල පිටුව විවෘතව තබා ගන්නා ලෙස නිවේදනයක් නිකුත් කිරීමට ද පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published.