ජාත්‍යන්තරව පිළිගත් පෞද්ගලික විශ්වවිද්‍යාල මෙරට පිහිටුවමු

ජාත්‍යන්තරව පිළිගත් පෞද්ගලික විශ්වවිද්‍යාල මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා සියලු දෙනා එක්ව සර්ව පාක්‍ෂික එකඟතාවක් ඇතිකර ගත යුතු කාලය එළැඹ ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මෙරට විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය ඉක්මවා සිසුන් තිස්දහසක් පමණ වාර්ෂිකව විදේශ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු වන බව කී ඇමැතිවරයා, ඔවුන් සංවර්ධිත රටවලට මෙන්ම සංවර්ධනය නොවුණු රටවලට ද එලෙස අධ්‍යාපනය සඳහා පිටත්ව යන බවද කියා සිටියේය.

මේ වන විට එසේ විදේශ අධ්‍යාපනයට යොමු වූ සිසුන්ගේ අධ්‍යයන කටයුතු කඩාකප්පල් වී ඔවුන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවද ඇමැතිවරයා සඳහන් කළේය. රට තුළ පවතින ඩොලර් අර්බුදය හමුවේ සිය අධ්‍යයන කටයුතු සඳහා ගෙවීම් කිරීමට ඩොලර් ලබා ගත නොහැකි තත්ත්වයක් ඇතිවී තිබීම එම තත්ත්වයට එක් හේතුවක් වී ඇතැයි ද ඇමැතිවරයා කීය.

විදේශ අධ්‍යාපනයට යොමුවන මෙරට සිසුන් වර්ෂයකට ඩොලර් බිලියන දෙකක් පමණ ඒ සඳහා ගෙවීම් කරන අතර මේ හේතුවෙන් වාර්ෂිකව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටින් පිටතට ඇදී ගිය බව ද කී ඇමැතිවරයා, කොරෝනා වසංගතය හමුවේ විදේශ අධ්‍යාපනය ලබමින් සිටියදී යළි මෙරටට එවන ලද සිසුන්ට මේ දක්වා යළි අධ්‍යාපනය සඳහා ඒ ඒ රටවලට යෑමට නොහැකි වී තිබීම ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු බිඳ වැටීමට හේතුවක් වී තිබෙන බවද පැවසීය.

මෙම තත්ත්වය තුළ ජාත්‍යන්තරව පිළිගත් පෞද්ගලික විශ්වවිද්‍යාල මෙරට තුළ ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ගැනීම කාලෝචිත තීරණයක් වන බවද හෙතෙම සඳහන් කළේය

මෙරට අධ්‍යාපනය ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්ව තිබෙන නිසා පෞද්ගලික විශ්වවිද්‍යාල ස්ථාපිත කිරීමේදී විදේශීය සිසුන් පැමිණෙන අතර එය රටට විශාල වශයෙන් ඩොලර් ගලා එන මාවතක් වනු ඇතැයි ද බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා ඊයේ (16 වැනිදා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.