කතරගම – නුවර – අනුරපුර සතිඅන්තයේ සංචාරයට අධිසුඛෝපභෝගි දුම්රිය සේවාවක්

– ආපනශාලා, සනීපාරක්ෂක පහසුකම්වලට පෞද්ගලික අංශයේ දායකත්වය
– ගමනාගමන මණ්ඩලයේත් සහාය

කතරගම, නුවර, අනුරාධපුර ඇතුළු දිස්ත්‍රික්ක රැසක් කේන්ද්‍ර කර ගනිමින් අධි සුඛෝපභෝගී විශේෂ සංචාරක දුම්රිය සේවයක් සති අන්තයේ ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

එම වැඩසටහන සඳහා පෞද්ගලික අංශයේ සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ ද සහාය ගන්නා බව ඇමැතිවරයා කීවේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (16) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

එම දුම්රිය තුළ සංචාරකයන්ට අවශ්‍ය ආපනශාලා, සනීපාරක්ෂක පහසුකම් ස්ථාපිත කිරීමට පෞද්ගලික අංශයේ දායකත්වය ගැනීමට ඉදිරියේදී සාකච්ඡා පවත්වන බවත් හෙතෙම කියා සිටියේය.

එහිදී ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කීවේය.

”බදුල්ල දක්වා යොදවපු දුම්රිය සඳහා මේ වන විට දැඩි ඉල්ලුමක් පවතිනවා. ඉදිරි සති ගණනාවකටම ආසන වෙන් කරගෙන ඉවරයි. තවත් දුම්රිය යොදනව නම් ඇංජින්, දුම්රිය කට්ටල පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. පෞද්ගලික ප්‍රවාහනය සඳහා වැඩි පිරිවැයක් දරන්න වෙන නිසා දුම්රිය දෙපාර්තමේන්තුවේ පාලන අධිකාරියට දැනුම් දී තිබෙනවා සංචාරක විශේෂිත දුම්රිය වැඩසටහනක් සතිඅන්තයට ඇති කරන්න කියලා. ඇල්ල ඔඩෙසි දුම්රිය සිකුරාදා රාත්‍රී කොළඹින් පිටත් වෙලා සෙනසුරාදා, ඉරිදායින් පසු සඳුදා වෙනකොට කොළඹට එන්න තමයි කටයුතු යොදා තිබෙන්නේ. එම දුම්රිය මඟින්ගෙන් පිරී ඉතිරි ගිහින්. ආසනයක් වෙන්කරගන්න අමාරුයි.

”ඉදිරියේදී සතිඅන්තයේ බලාපොරොත්තු වෙනවා කතරගම යෑම සඳහා කොළඹ සිට බෙලිඅත්තට විශේෂ දුම්රියක් සකස් කරන්න. ඊට පස්සේ බෙලිඅත්තේ සිට පෞද්ගලික හා ලංගම බස් රථවලින් කතරගම ඒකාබද්ධ සේවයක් යොදවන්න. පසුවදා දිනයේදී නැවත එම බස් රථවලින් බෙලිඅත්තට ඇවිත් දුම්රියෙන් කොළඹට එන විදියට. අනුරාධපුර වන්දනාවල යෙදෙන පිරිසට සාමූහික ගමන් කිරීමටත් එවැනි විදියට දුම්රියක් යොදවලා බස් මඟින් ප්‍රවාහන පහසුකම් දෙන්න. ඒ වගේම නුවරට සතිඅන්ත සංචාරක විශේෂ දුම්රියක් යොදවන්න සාකච්ඡා කරමින් යනවා.”

Leave a Reply

Your email address will not be published.