ටොන් එකක හෙරොයින් මාස 8කදී අත්අඩංගුවට අරන්

වටිනාකම කෝටි 1000 පනී
ගංජාත් ටොන් 6ක්

මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 14 වැනිදා දක්වා ගෙවී ගිය කාලය තුළ පමණක් රුපියල් කෝටි 1000කට අධික වටිනාකමක් ඇති හෙරොයින් ටොන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට මෙරට ආරක්ෂක අංශ සමත්ව ඇත.

එම කාලසීමාව තුළ පමණක් රට පුරා කළ වැටලීම්වලින් ගංජා ටොන් 6කට අධික ප්‍රමාණයක් පොලිසිය හා නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ දත්තයන්ට අනුව මේ කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය කිලෝ 1007යි ග්‍රෑම් 207කි. වැටලීම් 17,650කදී පුද්ගලයන් 17,597 දෙනෙක් සමඟ මේ හෙරොයින් තොගය සොයාගෙන තිබේ.

වැඩිම හොරොයින් තොගයක් මේ කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ නාවික හමුදාව මඟින් මහ මුහුදේදී කළ මෙහෙයුම්වලිනි. මහ මුහුදේ කළ වැටලීම් 03කදී 29 දෙනකු සමඟ අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය කිලෝ 917යි ග්‍රෑම් 40කි. ඊට පසු වැඩියෙන්ම හෙරොයින් වැටලීම් කර ඇත්තේ දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන මඟිනි. වැටලීම් 17,914කදී 16,820 දෙනකු සමඟ අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය කිලෝ 68යි ග්‍රෑම් 685කි. සෙසු වැටලීම් කර ඇත්තේ විශේෂ කාර්ය බළකාය, කොළඹ අපරාධ කොට්ඨාශය සහ පාණදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන බළකාය යන විශේෂ පොලිස් අංශ මඟිනි.

ගංජා ටොන් 6ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත්තේ වැටලීම් 14101ක් කරමිනි. එහිදී පුද්ගලයන් 13946 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිම ගංජා ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකාය මඟිනි. ගංජා කිලෝ 2099යි ග්‍රෑම් 299ක් සමඟ පුද්ගලයන් 272 දෙනෙක් විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ වැටලීම් 301කදීය. නාවික හමුදාව මඟින් වැටලීම් 21ක් කර සැකකරුවන් 21 දෙනකු සමඟ ගංජා කිලෝ 1697යි ග්‍රෑම් 648ක් අත්අඩංගුවට ගෙන තිබේ. මේ ගංජා ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන පැමිණි කේරඛළ ගංජාය. ගංජා සම්බන්ධයෙන් වැඩිම වැටලීම් ප්‍රමාණයක් කර ඇත්තේ දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන මඟිනි. වැටලීම් 13,551ක් කර ගංජා කිලෝ 1369යි ග්‍රෑම් 160ක් සමඟ පුද්ගලයන් 13,435ක් අත්අඩංගුවට ගෙන තිබේ. සෙසු වැටලීම් කර ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, කොළඹ අපරාධ කොට්ඨාසය සහ පාණදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන බළකාය ඇතුළු විශේෂ පොලිස් අංශ මඟිනි.

Leave a Reply

Your email address will not be published.