අන්නාසි වගාව නැත්තටම නැති වෙයිද

අන්නාසි වගාවට අවශ්‍ය පොහොර ඇතුළු අමුද්‍රව්‍ය නොමැතිකමින් අන්නාසි වගාව මේ වනවිට විනාශ වී යාමේ තත්ත්වයකට පත්ව ඇතැයි අන්නාසි ව්‍යාපාරිකයෝ පවසති.

මේ හේතුවෙන් අන්නාසි වෙළඳාමෙන් සහ අපනයනය කිරීමෙන් ඉවත්වීමට සිදුව ඇති බවත් මේ හේතුවෙන් දහස් ගණනකගේ ජීවනෝපාය අහිමි වෙමින් පවතින බවත් වගාකරුවෝ සහ වෙළෙන්දෝ පෙන්වා දෙති.

බැලුම්මහර සහ ඉඹුල්ගොඩ යන ප්‍රදේශයන්හි පවත්වාගෙන ගිය 70වක් පමණ වූ අන්නාසි කඩවලින් මේ වන විට ඉතිරිව ඇත්තේ කඩ දහයකටත් අඩු ප්‍රමාණයකි.

අන්නාසි වගාව සඳහා යොදන පොහොර වර්ග සහ තෙල් වර්ග නොමැතිවීම අස්වනු පහළ වැටීමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බව මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී අනාවරණය විය.

මෙම තත්ත්වය මත අන්නාසි කිලෝවක් රුපියල් 250 ක් 300 ක් පමණ මිලක් වන අතර රුපියල් 200 ක පමණ මිලකට අලෙවි කළ අන්නාසි ගෙඩියක් රුපියල් 700 ඉක්මවූ මිලකට අලෙවි කිරීමට සිදුව ඇති බව සිල්ලර වෙළඳුන් පවසති.

ගම්පහ ප්‍රදේශයේ අන්නාසි වගාකරුවකු වන අසේල සෙනෙවිරත්න මහතා මෙන්ම ඉඹුල්ගොඩ දේශප්‍රිය ඩයස් සහ අජිත් ප්‍රසන්න යන වෙළඳමහතුන් සදහන් කර සිටියේ , පවතින තත්ත්වය මත මුලුමනින්ම අන්නාසි වගාකිරීමෙන් සහ අලෙවි කිරීමෙන් ඉවත්වීමට සිදුව ඇති බවය.

ඇතැම් වෙළඳුන් කියා සිටියේ මව් පිය පරම්පරාවෙන් මෙම වෙළඳාමෙන් ජීවත්වූ බවය. ඇතැම් වෙළඳුන් අන්නාසි අලෙවිය අතහැර එළවළු වෙළඳාමට යොමුව ඇත.

මහා පරිමාණයෙන් රටවල් කිහිපයකටම අන්නාසි අපනයනය කළ ආයතනයක ප්‍රකාශකයකු සදහන් කර සිටියේ, අන්නාසි හිඟය සහ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් රටට විදේශ විනිමය ඉපයූ අන්නාසි අපනයනය මුලුමනින්ම නවතා දමා ඇති බවත් පවතින අයහපත් තත්ත්වයට විසදුම් ලබා දීමට රජය පියවර ගත යුතු බවත්ය.

Leave a Reply

Your email address will not be published.