‘වඳුරු උණ’ට දෙන එන්නත සියයට 100 ක් සාර්ථක නැහැ

‘වඳුරු උණ’ වයිරසය ආසාදනය වීම වැළැක්වීමට ලබා දෙන ප්‍රතිශක්තිකරණ එන්නත සියයට 100 ක් සාර්ථක නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියකු වන රෝස්මන්ඩ් ලුවිස් පැහැදිලි කරයි.

‘වඳුරු උණ’ යනු පැපොල සහ වසූරිය අතර මැද එන්නතකි.  එහෙයින්,  ‘වඳුරු උණ’ ආසාදනය වැළැක්වීමට ලබා දෙන්නේ වසූරිය සඳහාත්, පැපොල සඳහාත් නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත්ය.

‘වඳුරු උණ ආසාදනය වැළැක්වීමට රටවල් කීපයක (ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල්) ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම සිදුවෙනවා. එසේ එන්නත් ලබාගත් පුද්ගලයන්ටත් වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව, ලබා දෙන එන්නත් සියයට 100 ක් සාර්ථක නැහැ’ යැයි රෝස්මන්ඩ් ලුවිස් පෙන්වා දී තිබේ.

අසාමාන්‍ය ආකාරයට ‘වඳුරු උණ’ වයිරසය ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින්නේ, වයිරසය දැඩි ලෙස විකෘතිකරණයට ලක්වී ඇති බැවින් යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර තිබේ. මේ වනවිට රටවල් 92 කට වයිරසය ව්‍යාප්ත වී ඇති අතර ලොව පුරා ආසාදිතයන් 35,000 ක් හමුවී ඇත. මරණ වාර්තා වන්නේ 12 ක් ලෙසය.

මේ අතර, ප්‍රංශයේ පැරිස් අගනුවර, ‘ග්‍රේ හවුන්ඩ්’ වර්ගයේ සුරතල් බල්ලකුට ‘වඳුරු උණ’ වයිරසය ආසාදනය වීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ ගැන විමසිල්ලෙන් පසුවන බව ද පැවැසෙයි.

‘වඳුරු උණ’ වයිරසය මනුෂ්‍ය ආසාදිතයකුගෙන් සතකුට ව්‍යාප්ත වුණු පළමු අවස්ථාව මෙයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ ගැන විමසිලිමත් වන්නේ මනුෂ්‍යයන්ගෙන් සුරතල් සතුන්ට ආසාදනය වන වයිරසය යළි සුරතල් සතුන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වුවහොත් එය බිහිසුණු විකෘති ස්වරූපයක් ගනු ඇතැයි අනුමාන කිරීමෙනි.

ප්‍රංශයේ ‘වඳුරු උණ’ ආසාදිත බල්ලාගේ හිමිකරුවන් සමලිංගික පිරිමි යුවළකි. ඔවුන් දෙදෙනාටම වයිරසය ආසාදනය වී ඇත. ඇමෙරිකන් වෛද්‍යවරුන් පවසන ආකාරයට, ‘වඳුරු උණ’ සමලිංගික පිරිමින් අතරේ වැඩිපුර ව්‍යාප්ත වන වයිරසයකි.

Leave a Reply

Your email address will not be published.