දින හතරට ඩෙංගු රෝගීහු 1,001ක්

– හරි අඩක්ම බස්නාහිරින්
– කොට්ඨාස 60ක් අධි අවදානමේ

පසුගිය දින 4 තුළදී ඩෙංගු ආසාදිතයන් 1,001ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඊයේ (18) ප්‍රකාශ කළේය.

ඩෙංගු ආසාදිතයන් 1,590ක් මේ මස 08 දා සිට 14 දා දක්වා වාර්තා වී ඇති බවත් මේ වර්ෂයේ ආරම්භයේ සිට මේ දක්වා ආසාදිතයන් 51,367ක් වාර්තා වී ඇති බවත් ඒ මහතා පැවසුවේය.

සමස්ත ආසාදිතයන්ගෙන් සියයට 50ක් වාර්තා වනුයේ කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ඇතුළත් බස්නාහිර පළාතෙන් බවද හෙතෙම පැවසීය.

ඩෙංගු තත්ත්වය පාලනය කිරීම සඳහා සැප්තැම්බර් මස 01 දා සිට 03 දා දක්වා දින තුන තුළදී ජාතික ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නේ යැයි ද ඔහු පැවසුවේය.

මහනුවර, කෑගල්ල, රත්නපුර, ගාල්ල දිස්ත්‍රික්කයන්ගෙන්ද වැඩි පුර ඩෙංගු ආසාදිතයන් වාර්තා වන බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 60ක ඩෙංගු අධි අවදානමක් පවතින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

තමා ජීවත් වන අවට පරිසරය මදුරුවන්ට බෝ විය නොහැකි ලෙස පවත්වා ගැනීමට පුද්ගලයන්ට හැකි නම් ඩෙංගු ආසාදිතයන් වාර්තා වීම අවම කර ගත හැකි බවද ඒ මහතා කීය.

දින දෙකකට වඩා කිසියම් අයකුට උණ රෝගය පවතින්නේ නම් ඩෙංගු බවට සැක කර සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගත යුතු බවද ඒ මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published.