වසර 2කට පසු බ්‍රැඩ්බි පලිහට රාජකීය-ත්‍රිත්ව අද තරග බිමේ

ශ්‍රී ලංකා පාසල් රග්බි තරග බිමේ වැඩිම අවධානයක් දිනා ගත් ප්‍රමුඛතම රග්බි තරගය ලෙස සැලකෙන කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර වාර්ෂිකව පැවැත්වෙන සුප්‍රකට 76 වැනි බ්‍රැඩ්බි පලිහ රග්බි තරග ද්විත්වයේ පළමු තරගය අද (20) පස්වරු 4.00ට කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. මෙහි දෙවැනි අදියරේ තරගය ලබන මස 3 වැනිදා පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

තරග ද්විත්වයේ සමස්ත ලකුණු එකතුවෙන් මේ තරගාවලියේ ජයග්‍රාහකයා තීරණය වනු ඇත.

කොරෝනා වසංගය හේතුවෙන් වසර 2ක විරාමයකින් පසු ඇරඹෙන මෙවර තරගාවලියේදී රාජකීය විදුහල් කණ්ඩායම කවීන් සසංක මෙහෙයවන අතර, ලිත්මාල් මොරගොඩ ත්‍රිත්ව විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි.

මේ තරගාවලිය අවසන් වරට 2019 වසරේදී පැවති අතර, එහිදී බ්‍රැඩ්බි පලිහ හිමි කර ගැනීමට රාජකීය විදුහල සමත් විය. එම තරගාවලියේ පළමු අදියර ලකුණු 34-17ක් ලෙස රාජකීය විදුහල ජය ගත් අතර, දෙවැනි අදියර ලකුණු 24-13ක් ලෙස ජය ගත්තේ ත්‍රිත්ව විදුහලයි. කෙසේ වෙතත් අදියර ද්විත්වයේ ලකුණු එකතුව මත රාජකීය විදුහලට ශූරතාව හිමි විය. ඒ සමඟ අවසන් තරගාවලි ත්‍රිත්වයේදීම (2017, 2018, 2019) බ්‍රැඩ්බි පලිහ රාජකීය විදුහල සතු විය. ත්‍රිත්ව විදුහල 2014 වසරේදී අවසන් වරට මේ තරගාවලිය ජය ගෙන තිබේ.

මෙතෙක් පැවති තරගාවලිය 75න් 39ක් ජය ගනිමින් බ්‍රැඩ්බි පලිහ තරගාවලියේ වැඩි ගෞරව අත් කර ගැනීමට ත්‍රිත්ව විදුහල සමත්ව ඇති අතර, රාජකීය විදුහල ශූරතාව දිනාගත් තරගාවලි සංඛ්‍යාව 34කි. තරග දෙකක් ජය පැරදුමෙන් තොරව අවසන් වී තිබේ.

මෙවර පාසල් ලීග් රග්බි තරගාවලියේදී මේ කණ්ඩායම් දෙක අවසන් වරට මුණගැසුණු අතර, එහිදී තියුණු සටනකින් අනතුරුව ලකුණු 21-20ක් ලෙස ජය තහවුරු කර ගැනීමට ත්‍රිත්ව විදුහල සමත් විය. එම තරගාවලියේ මූලික වටයේදී කණ්ඩායම් දෙකම ජයග්‍රහණ 4 බැගින් ජය ගැනීමට සමත් වුවද ත්‍රිත්ව විදුහලට සුපිරි කණ්ඩායම් 4 අතරට එක් වීමේ අවස්ථාව අහිමි විය.

වසර 1945දී රාජකීය විදුහලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ ඊ.එල්. බ්‍රැඩ්බි මහතා විසින් රාජකීය විදුහල සහ ත්‍රිත්ව විදුහල අතර තරග 2කින් සමන්විතව වාර්ෂික විශේෂාංගයක් ලෙස මේ තරගය පැවැත්විය යුතු බවට යෝජනා කිරීමත් සමඟ බ්‍රැඩ්බි තරගය ආරම්භ විය. එවකට ත්‍රිත්ව විදුහලේ විදුහල්පතිවරයා ලෙස සී.ඊ. සිමිත්‍රාරච්චි මහතා කටයුතු කළේය. බ්‍රැඩ්බි මහතා විසින් පසුව ජයග්‍රාහකයන්ට පිරිනැමීමට පලිහක් පරිත්‍යාග කළ අතර, පසුව එය බ්‍රැඩ්බි පලිහ බවට පත් විය.

Leave a Reply

Your email address will not be published.