සියලු පක්ෂ සතුටු කරන්න රනිල්ගෙන් අලුත් ක්‍රමයක්

පාර්ලිමේන්තුව තුළ ආංශික අධීක්‍ෂණ කාරක සභා ස්ථාපනය කර, ඵලදායී පාලන ක්‍රමයක් රට තුළ ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත.

සර්වපාක්‍ෂික ආණ්ඩුවක් හෝ සර්වපාක්‍ෂික පාලනයක් ඇති කිරීමට පසුගිය දිනවල ජනාධිපතිවරයා විවිධ උත්සාහ ගත් නමුත්, එම උත්සාහ අසාර්ථක වීම නිසා ඒ සඳහා ආංශික අධීක්‍ෂණ කාරක සභා ක්‍රියාත්මක කිරීම හරහා සර්වපාක්‍ෂික පාලන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අදහස් කර ඇති බව රජයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

ආංශික අධීක්‍ෂණ කාරක සභාවල මුල් පුටු විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් වෙත ලබා දී ඔවුන්ට කැබිනට් ඇමතිවරුන්ට හිමි වරප්‍රසාද සහ පහසුකම් ලබා දීමට සැලසුම් කර ඇතැයි ද වාර්තාවේ.

සමගි ජන බලවේගය පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට සහ සමගි ජන සන්ධානයට අයත් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්‍ෂ නායකයන් සහ මන්ත්‍රීවරුන් අතරින් ආංශික අධීක්‍ෂණ කාරක සභාවල තනතුරුවලට පත් කෙරෙන බව දැනගන්නට ඇත.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වෙත ජනාධිපතිවරයා වෙතින් සිදු කරන දැනුම්දීමකදී සාකච්ඡා කිරීමට යාම සඳහා විපක්‍ෂ නායකවරයාගේ අනුමැතිය ද හිමිව ඇතැයි එම පක්‍ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ආංශික අධීක්‍ෂණ කාරක සභා 17ක් මීට පෙර ඉහතදී ස්ථාපනය කර තිබුණු අතර, එම කාරක සභා සියල්ල අහෝසි කර උපදේශක කාරක සභා යළි ආරම්භ කළේ ය.

යළිත් ආංශික අධීක්‍ෂණ කාරක සභා 19ක් ස්ථාපනය කිරීමට තීරණය කර ඇත.

එම ආංශික අධීක්‍ෂණ කාරක සභා ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් ආරම්භ වීමෙන් පසු ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තුවට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.