විමල්ගේ කතාවෙන් චීන ලොක්කන් පුදුම වෙති

චීනයේ යුආන් වැන්ග් 05 පර්යේෂණ නෞකාව පසුගිය 16 වැනිදා හම්බන්තොට වරාය පරිශ්‍රයට සේන්දු විය. ඒ ඊට අවශ්‍ය ඉන්ධන ඇතුළු අනෙකුත් පහසුකම් සපයා ගැනීමටය. ඉන්දියාවේ විරෝධය එළිපිටම ද ඇමරිකා එක්සත් ජනපදයේ විරෝධය අභ්‍යන්තරයෙන් ද එල්ල වීම හේතුවෙන් එම නැවට පසුගිය 11 වැනිදා හම්බන්තොට වරායට ඇතුළුවීමට ලබාදී තිබූ අවසරය අත්හිටුවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කර තිබිණි. ඒ අනුව මෙම නෞකාව දින පහක ප්‍රමාදයකින් පසු ශ්‍රී ලංකාවට සේන්දු වන විට මුළුමහත් ලෝකයේම අවධානය ඊට යොමුව තිබිණි. කෙසේ වෙතත් යුආන් වැන්ග් 05 නෞකාව හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයට ඇතුළු වීම වෙනුවෙන් 16 වැනිදා උදෑසන එහිදී විශේෂ උත්සවයක් සංවිධානය කොට තිබිණි.

ඒ සඳහා ඇරයුම් ලැබූවන් අතර ‘නොබැඳි විදෙස් පිළිවෙතක් අනුගමනය කරමින් කවර හෝ බලපෑමකට නතු නොවී අනුමැතිය දුන් පරිදි යුආන් වැන්ග් 05 නෞකාවට හම්බන්තොට වරාය පරිශ්‍රයට ඇතුළු වීමට අවකාශය සලසා දිය යුතුයි’ යන කරුණ දැඩි සේ ආණ්ඩුවට දිගින් දිගටම අවධාරණය කළ ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයෝ වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද වූහ.

එම උත්සව සභාව අමතා විමල් වීරවංශ මහතා අදහස් දක්වන අතරතුර චීන හා සෙසු රාජ්‍යතාන්ත්‍රික පිරිස් මුහුණින් මුහුණ බලන ආකාරයක් දක්නට ලැබිණි. ඊට හේතුව ඔහුගේ කතාවේ දී පැවසූ ‘ශ්‍රී ලංකා රාජ්‍යය ආරක්ෂා කරගනිමින් අපි සියලුදෙනාටම ඉදිරියට යන්න පුළුවන් වේවි’ යන වාක්‍ය ඛණ්ඩය ‘ශ්‍රී ලංකා ආණ්ඩුව ආරක්ෂා කරගනිමින් අපි සියලුදෙනාටම ඉදිරියට යන්න පුළුවන් වේවි’ එනම් ‘Sri Lanka State’ යන්න ‘Sri Lanka Government’ යන අයුරින් භාෂණ පරිවර්තකවරයා විසින් පරිවර්තනය කිරීමයි.

එම කරුණ, කතාව අතරතුරේදීම විමල් වීරවංශ මහතාගේ ඉල්ලීම පරිදි නිවැරදි කිරීමට භාෂණ පරිවර්තකවරයා පියවර ගත් අතර උත්සව සභාවට මතුවූ කුකුස ඒ සමගම නිමවිය.

Leave a Reply

Your email address will not be published.