අරගලයට නායකත්වය දුන් පිරිසක් යහමින් මුදල් උපයාගෙන…

දෙමළ ඩයස්පෝරාවේ ප්‍රධානී නිමලන් විශ්වනාදන්ගේ ‘අපි ඩොලර් මිලියන ගණනක් වියදම් කළා. ඒක ඇත්ත. ගෝඨාභය පන්නන සැලැස්ම පිටුපස සිටියේ අපි ‘යන ප්‍රකාශය අසත්‍ය බව ‘අරගලයට’ නායකත්වය දුන් කිසිදු පාර්ශ්වයක් නොපවසන තත්ත්වයක් තුළ ඔවුන් රටේ ජනතාවගේ සාධාරණ ප්‍රශ්න ‘පික්පොකට්’ ගසා යහමින් මුදල් උපයාගෙන ඇති බව මැනවින් සනාථ වන බව ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පෙන්වා දුන්නේය.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

රට ආර්ථික ආපදාවකට මුහුණ දී සිටියදී තමන් මුහුණ දුන් සාධාරණ ප්‍රශ්න හේතුවෙන් අරගල කළ ජනතාව මේ පිළිබඳව වඩාත් විමසිලිමත් විය යුතු බවත් තම ප්‍රශ්න ‘පික්පොකට්’ ගසා එදා මේ රට බෙදීමට මුදල් පොම්ප කළ දෙමළ ඩයස්පෝරාවෙන් මුදල් ලබාගත් අරගල නායකයන්, දේශපාලන පක්ෂ හා අරගල ක්‍රියාකාරීන් කවුද, යන්න අනාවරණය කර ගැනීම ඔවුනගේ අත්හළ නොහැකි වගකීමක් බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

‘එල්ටීටීඊය පෝෂණය කළේ අපි. එදා අපට නැව් 06ක් තිබුණා. දැන් 23ක් තිබෙනවා. අපට විශාල මුදල් සම්භාරයක් හිමියි. ඒ වගේම අපි අරගලයටත් මුදල් ලබා දුන්නා. එසේ අරගලයට මුදල් ලබාදුන් සංවිධාන අතර කටාර් රාජ්‍යයේ, සෞදි රාජ්‍යයේ සංවිධාන වගේම යුරෝපා රටවල සංවිධානත් තිබුණා.’ යනුවෙන් ලෝකය හමුවේ දෙමළ ඩයස්පෝරා ප්‍රධානී ලෙස පෙනී සිටින නිමලන් විශ්වනාදන් කරන උදම් ඇනීම හමුවේ, අරගලයට තම නායකත්වය දුන් බව පවසන ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමය ඇතුළු පිරිස්, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රමුඛ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තරුණ සංවිධාන පවසන්නේ කුමක්දැයි තමන් ප්‍රශ්න කර සිටින බව ද ගාමිණී වලේබොඩ මහතා පැවසීය.

ත්‍රස්තවාදයට අරමුදල් සැපයූ බවට වන චෝදනාව යටතේ ශ්‍රී ලංකාව තුළ තහනම් කරන ලද ජාත්‍යන්තර දෙමළ සංවිධාන 06ක තහනම ඉවත් කිරීමත් සමඟම කරළියට ආ එම සංවිධාන 06 ප්‍රමුඛ දෙමළ ඩයස්පෝරාවේ ප්‍රධානියා මෙසේ උදම් අනද්දි එය කිසිවකුත් සුළුකොට තැකිය නොහැක්කේ, රටේ පාලනතන්ත්‍රය ත්‍රස්තවාදයට අරමුදල් සැපයූ සංවිධාන මඟින් වෙනස් කර අද ඔවුන්ගේ සංවිධානවලට ශ්‍රී ලංකාව තුළ පනවා තිබූ තහනම පවා ඉවත් කරගත් තත්ත්වයක් නිර්මාණය වී ඇති නිසා බව ඒ මහතා අවධාරණය කළේය.

සැබෑ අරගලකරුවන්ගේ සාධාරණ කෝපය භාවිතා කරමින් අරගලයට නායකත්වය දුන් පිරිස් බෙදුම්වාදී සංවිධානවල මුදල් ලබාගැනීමෙන් නිර්මාණය කළ තත්ත්වය, හෙට දිනයේදී මේ රට තවත් හයිටියක්, ලිබියාවක් බවට පත් කිරීමේ බටහිර කුමන්ත්‍රණයට පාර කපා ඇති බවත් එමඟින් මෙරට ජාතික ආරක්ෂාව සහ රාජ්‍යයේ අඛණ්ඩ පැවැත්ම අභියෝගයට ලක්ව ඇති බවත් වලේබොඩ මන්ත්‍රීවරයා සඳහන් කළේය.

‘අපට විදේශ ඇමතිකම දුන්නොත් විදේශ රටවලට ගිහිල්ලා ඩොලර් එකතු කරලා මේ රටේ ආර්ථික ප්‍රශ්නය විසඳනවා’යැයි පවසන මේ නිමලන් විශ්වනාදන් අරගලයට මුදල් පොම්ප කර පැවති පාලනතන්ත්‍රය වෙනස් කරවාගෙන, තම තහනම් සංවිධාන 06ක තහනම, නව පාලනතන්ත්‍රය මගින් ඉවත් කරවා ගැනීමෙන් නොනැවතී යෑමට හදන දුර කෙරෙහි දැන්වත් රටට හිතැති සියලු ජනකොටස් ගැඹුරින් තේරුම් ගත යුතුව ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවට කඩුවෙල මහ නගර සභාවේ මන්ත්‍රී යූ. ධනවංශ මහතා ද එක්ව සිටියේ

Leave a Reply

Your email address will not be published.