සිව්වන එන්නත්කරණය 125,000 ඉක්මවයි

කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ සිව්වන මාත්‍රාව හෙවත් දෙවන වර්ධක මාත්‍රාව ලබාගත් පිරිස 125,000 ඉක්මවා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ,  තෙවන මාත්‍රාව හෙවත් පළමු වර්ධක මාත්‍රාව ලබාගත් පිරිස මිලියන අට ඉක්මවා ඇති බවයි. 

එමෙන්ම, කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නතේ පළමු මාත්‍රාව මිලියන 17 කට අධික පිරිසක් සහ දෙවන මාත්‍රාව මිලියන 15 කට අධික පිරිසක් ලබාගෙන ඇත. 

එය මෙරට එන්නත්කරණයට නිර්දේශ කළ ජනගහනයෙන් ප්‍රතිශතයක් ලෙස පිළිවෙලින් 78% ක් සහ 66.4% කි. 

කිසිදු අතුරු ආබාධයක් වාර්තාවී නොමැති නිසා කඩිනමින් කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ වර්ධක පළමු මාත්‍රාව සහ දෙවන මාත්‍රාව ලබාගන්නා ලෙස සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ, වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් සහ නිධන්ගත රෝග සහිත පුද්ගලයන් වර්ධක මාත්‍රා ලබාගැනීම ඉතා වැදගත් බවයි.  

පසුගිය 19 වැනිදා වන විට මෙරට තහවුරු කළ සමස්ත කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 16,646 ක් වන අතර ඉන් බහුතරය වයස අවුරුදු 60 ට ඉහළ වැඩිහිටියන්ය.

Leave a Reply

Your email address will not be published.