පසුගිය වසර 20ක කාලය තුළ අධිවේගී මාර්ග වලට යොමුකළ මුදලින් සියයට 10ක් පොදු ප්‍රවාහනයට යොමු කළේ නම්, අද මෙරට නවීකරණය වූ දුම්රිය පද්ධතියක් හා මගී බස්රථ සේවයක් පවතින බව 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
රට තුළ ඇති වූ විදේශ සංචිත හිගයත් සමඟ මතු වූ ඉන්ධන අර්බුදය හේතුවෙන් සාමාන්‍ය ජනතාව පොදු ප්‍රවාහනයට යොමුවීම නිසා මේ වනවිට දුම්රිය මගී ප්‍රමාණය දෙගුණයකින් වැඩිවී ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ 43 සේනාංකයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක හමුවකට සහභාගී වීම සඳහා දුම්රියෙන් මහනුවර බලා යමින් සිටියදීය.
මෙරට ඇත්තේ දුම්රිය 60 කට ආසන්න ප්‍රමාණයක් බව කී මන්ත්‍රීවරයා දුම්රිය නවීකරණය, විදුලිකරණය හා කිරීමට ගත් ක්‍රියාමාර්ග මෝඩ දේශපාලකයන් විසින් විනාශ කළ බවද කීවේය.
මගීන්ගෙන් සියයට 8-10 ක් ගෙනයන දුම්රියට ඉන්ධන වැයවෙන්නේ සියයට 1-2 ක් වැනි ප්‍රමාණයක් බැවින් එම ක්ෂේත්රය නවීකරණයට නව දුම්රිය එන්ජින්, මැදිරි, බස් රථ ගෙන ඒම සඳහා ආණ්ඩුව දැන්වත් විශාල ප්‍රාග්ධන ආයෝජනයක් කළ යුතු බව මන්ත්‍රීවරයා පැවසීය.