ආසියා කුසලානයේ වැඩිම අවධානය වනිඳුට

භයානක ප්‍රහාරකයා චරිත් බවට අනාවැකි

ආසියා කුසලානයේ වැඩිම අවධානයක් ඇති පන්දු යවන්නා ක්‍රිකට් පිටියේ සෑම අංශයකින්ම දස්කම් දක්වන වනිඳු හසරංග බව ක්‍රිකට් විචාරක මතය වෙයි. චරිත් අසලංක ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නූතන විප්ලවයේ එක් මුහුණුවරක් බවත්, ඔහු භයානක ප්‍රහාරකයකු වනු ඇති බවත් අනාවැකි පළ වෙමින් පවතී. චරිත් ශ්‍රී ලංකා මැද පෙළේ ශක්තිමත් ක්‍රීඩකයකු බවට හඳුන්වා දෙමින් මත පළ වී ඇත.

නිමාවට පත් වූ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේදී ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටයන්ට අභියෝග කළ වනිඳු හසරංග ඔහුගේ වටිනාකම ඔප්පු කර ඇතැයි ක්‍රිකට් විචාරකයෝ සඳහන් කරති. ඔහු තවත් දින කිහිපයකින් ආරම්භ වන ආසියා කුසලානයේ උද්යෝගිමත්ම ක්‍රීඩකයකු වනු ඇතැයි විදෙස් මාධ්‍ය තුළ ප්‍රබල කතාබහකි.

වනිඳු හසරංගට පසුපසින් මෙවර ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ දක්ෂතා අතර සිටින ඔපවත් පන්දු යවන්නන් ලෙස ඉන්දියාවේ අර්ෂ්දීප් සිං, යුස්වේන්ද්‍ර චාහල් හා ඇෆ්ගනිස්ථානයේ ෆසාල්හක් ෆාරුකි පිළිබඳ විශ්වාසය පළ කොට ඇත. වමත් වේග පන්දු යවන පාකිස්තානයේ ෂහීන් ෂා අෆ්රිඩි පිළිබඳ බලාපොරොත්තු පළ කළද ඔහු ආබාධ තත්ත්වයක් මත තරගාවලියෙන් ඉවතට ගොස් සිටී.

චරිත් අසලංක මැද පෙළ පිතිකරු ධනංජය ද සිල්වා සමඟ පෙරැළිකාර චරිතයක් වනු ඇති බවට පැවසේ. මේ වමත් පිතිකරුවා පසුගිය වසරේ පැවති අයිසීසී විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සිට ආකර්ෂණීය ලෙස ඉදිරියට පැමිණියේය.

මෙවර ආසියා ක්‍රිකට් කුසලාන තරගාවලියේදී අවධානය යොමු කළ යුතු හොඳම පිතිකරුවන් අතර ඉන්දියාවේ විරාට් කෝලි, පාකිස්තානයේ ෆකාර් සමාන්, ඇෆ්ගනිස්තානයේ නජිබුල්ලා සඩ්රාන් හා බංග්ලාදේශයේ මුෂ්ෆිකර් රහීම් විචාරක අවධානයට ලක්ව තිබේ.

 


ආබාධිත දෙදෙනෙක් ඉවතට

ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියට නම් කළ බිනුර ප්‍රනාන්දු හා කසුන් රාජිත පසුගියදා නිමා වූ ආරාධිත පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ඇති වූ ආබාධ හේතුවෙන් සංචිතයෙන් ඉවත් කරති. ඒ වෙනුවට අසිත ප්‍රනාන්දු හා ප්‍රමෝද් මධුෂාන් සංචිතයට එක්ව සිටිති.

ශ්‍රී ලංකා පිල මෙසේය: දසුන් ශානක (නායක), ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩ්ස් (කඩුලු රකින්නා/පිතිකරු), චරිත් අසලංක (උප නායක), භානුක රාජපක්ෂ (කඩුලු රකින්නා/පිතිකරු), අශේන් බණ්ඩාර, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, ප්‍රවීන් ජයවික්‍රම, චාමික කරුණාරත්න, ඩිල්ෂාන් මධුෂංක, මතීෂ පතිරණ, නුවනිඳු ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, දිනේෂ් චන්දිමාල් (කඩුලු රකින්නා/පිතිකරු), අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුෂාන්.

Leave a Reply

Your email address will not be published.