චමින්ද කැලුම්ප්‍රියට ඇප

ජාතික රූපවාහිණී සංස්ථාවට කඩා වැදී මධ්‍යවේදීන් ඇතුළු කාර්ය මණ්ඩලයට තර්ජනය කර බියගන්වා සජීවි රූපවාහිණී වැඩසටහනකට සම්බන්ධවීමේ සිද්ධියට අදාළව කුරුදුවත්ත පොලීසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ චමින්ද කැලුම්ප්‍රිය අමරසිංහ නමැත්තා රුපියල් ලක්ෂ එකහාමාරක මුදල් සහ රුපියල් ලක්ෂ 3ක ශරීර ඇපයක් මත මුදා හැරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (22) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව කුරුදුවත්ත පොලීසියට භාරවූ සැකකරු අත්අඩංගුවට ගත් පොලීසිය අද (22) සවස අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.

මෙහි පළමු සැකකරු වන සමාජ ක්‍රියාකාරී ධානිශ් අලී නැමැත්තා රුපියල් 25000 මුදල් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබුණේ ඉකුත් 15 වැනිදාය.

මෙම සිද්ධියට අදාළ දෙවැනි සැකකරු වන චමින්ද කැලුම් ප්‍රිය අමරසිංහ ජයකොඩි යන අයවලුන්ගේ ද තෙවැනි සැකකරු වන එම්. චන්දිමාල් යන අයගේ ද විදෙස් ගමන් තහනම් කිරීමට ඉකුත් 15 වැනිදා අධිකරණය නියෝග කලේය.

මෙහි සිව්වන සැකකරු වන ආරච්චිගේ සුසිල් වසන්ත නමැත්තා කුරුදුවත්ත පොලීසිය අත්අඩංගුවට ගෙන ඉකුත් 15 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ අතර, එම සැකකරු ලබන 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද අධිකරණය නියෝග කර ඇත.

Leave a Reply

Your email address will not be published.