නිවාස අධිකාරියේ ඇතැම් ලොක්කන්ට මදි නොකියන්න සලකලා

සුඛෝපභෝගි වාහන 65,000ක ඩීසල් දීමනාවක්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඇතැම් නිලධාරීන්ට ඉකුත් සමයේදී තනතුරට අදාළ නොවන වරප්‍රසාද දීමේ පුවතක් හෙළි වේ.

ඒ අනුව ඔවුන්ට මාසයකට කුලිය රුපියල් ලක්ෂය දෙක බැගින් ගෙවා කුලී පදනම යටතේ සුඛෝපභෝගී වාහන දී ඇතැයි එම අධිකාරියේ සභාපති රාජීව් සූරියආරච්චි මහතා පවසයි.

එමෙන්ම චක්‍රලේඛවලට පිටින් ඩීසල් ලීටර් 145ක් ලබාදී ඇති අතර ඒ සඳහා රුපියල් 65,000ක් ගෙවීමට සිදු ව තිබූ බවද හෙතෙම කීවේය.

සූරියආරච්චි මහතා මේ බව සඳහන් කළේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකරුවන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවකට පසුගිය දා (19) සහභාගී වෙමිනි. මෙම වැඩමුළුව මහනුවර, රජපීහිල්ල ඔක්රෙ උත්සව ශාලාවේදී පැවැත් විණි.

එහිදී සභාපතිවරයා පැවසුමේ මෙම නිලධාරීන් සම්පූර්ණ දේශපාලන කටයුතු සඳහා යොදවා තිබූ බවයි. තමන් සභාපතිවරයා ලෙස වැඩ භාරගත් වහාම එම වරප්‍රසාද ඉවත් කර ඔවුන්ගේ තනතුරුවලට අදාළ පහසුකම් පමණක් සැලසීමට පියවර ගත් බවද කීවේය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළ සිට පහළටම පැතිර ඇති දූෂණය නතර කිරීමට පියවර ගන්නා බවද හෙතෙම කීවේය.

ඔහු අවධාරණය කරන්නේ අධිකාරියේ ඇතැම් නිලධාරීන්ට දේශපාලනය කිරීම සඳහා දී තිබූ වරප්‍රසාද රැසක් තමන් ඉවත් කළ බවයි. එම නිසා ඇතැම් වෘත්තිය සමිති සහ කණ්ඩායම් තමන්ට එරෙහිව විවිධ මඩ ප්‍රහාර හා කුමන්ත්‍රණ සිදු කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නිවාස ණය ලෙස ලබා දී මෙතෙක් අධිකාරියට අය කර ගැනීමට නොහැකිව තිබෙන රුපියල් බිලියන 10ක හිඟ මුදල අය කර ගැනීම සඳහා ඉලක්කගත වැඩපිළිවෙළක් සකස් කිරීම වෙනුවෙන් මෙම වැඩමුළුව සංවිධාන කර තිබුණි.

රජයේ චක්‍රලේඛන උල්ලංඝනය කරමින් සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් එල්ල වන ප්‍රකාශ පිළිබඳ ප්‍රතිචාර දක්වමින් සභාපතිවරයා සඳහන් කළේ රජයේ මුදල් වැය කර සාද පැවැත්වීමට තරම් තමන් ආර්ථික වශයෙන් පිරිහුණු පුද්ගලයකු නොවන බවයි.

තමා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස පැමිණෙන විට දේශපාලනය කරන්න එහි යම් යම් තනතුරු කිහිපයක් තිබූ බවත් තමා ඒ තනතුරුවලට තිබුණු වරප්‍රසාද සියල්ල ඉවත් කළ බවද කීවේය.

Leave a Reply

Your email address will not be published.