දෙල්දූවේ හෝටලයක මත්පැන් සාදයකට එල්ල වූ වෙඩි වරුසාවකින් 2ක් මරුට

අම්බලන්ගොඩ දෙල්දූවේ පිහිටි හෝටලයකට පෙරේදා (21) රාත්‍රීයේ ටී – 56 ගිනි අවියක් රැගෙන කඩා වැදුණු පුද්ගලයකු එම හෝටලයේ ඉහළ මහලේ ආලින්දයේ මත්පැන් පානය කරමින් සිටි පිරිසක් ඉලක්කර එල්ල කළ වෙඩි වරුෂාවකින් දෙනෙක් මිය ගොස් දෙදෙනෙක් තුවාල ලබා ඇත.

විදුලිය විසන්ධිකර තිබුණු අවස්ථාවේදී මෙම වෙඩි තැබීමකර ඇත්තේ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකි. වෙඩි තබන අවස්ථාවේදී වෙඩි වැදුණු අයකු සිය ජීවිතය බේරා ගැනීමට ඉහළ මහලේ සිට පහළ පිහිණුම් තටාකයට පැන ඇත. මෙම වෙඩි තැබීම ඉකුත් ජූලි 26 වැනි දා අම්බලන්ගොඩ ඌරවත්තේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි වසන්ත සොයිසා නැමැති අයකුට තවත් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනෙක් කළ වෙඩි තබා ඝාතනය කිරීමට එල්ලවුණු ප්‍රතිප්‍රහාරය බව පොලිසිය කියයි. බලපිටිය අධිකරණයේ විභාගවන මිනිස් ඝාතන නඩුවකට පෙනී සිට නැවත නිවස බලා යමින් සිටියදී එම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණි. අම්බලන්ගොඩ කුලීගොඩ පදිංචිව සිටි අජිත් සොයිසා නොහොත් බූරු අජිත් නැමැත්තාව ඉකුත් 2020 වසරේ අගෝස්තු 22 වැනි දා අම්බලන්ගොඩ පැරට් හංදියේදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන්ව සන්ත සොයිසාට චෝදනා එල්ල වී තිබුණි. එම ඝාතනයට සැකපිට වසන්ත සොයිසාව අත්අඩංගුවට ගන්නේ පොලිස් විශේෂ කාර්ය බළකාය විසිනි. අම්බලන්ගොඩ ගලගොඩ පිහිටි මළ ගෙදරකට ජුලි 27 වැනි දා රාත්‍රීයේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් වෙඩි තබන්නේ වසන්ත සොයිසාගේ ඝාතනයට පළිගැනීමක් ලෙසිනි. මළගෙදරට වෙඩි ප්‍රහාරය එල්ලවන්නේ වසන්ත සොයිසාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වූ සුජිත් සොයිසා නැමැති අයකු ඉලක්කරගෙනය. එහිදී ඝාතනය වන්නේ සුජිත් සොයිසාගේ සහෝදරයෙක් වන විජිත් සොයිසා සහ තවත් අයෙකු බව පොලීසිය සඳහන් කළේය. මෙම ඝාතන රැල්ල සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වූ අම්බලන්ගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් වසන්ත සොයිසාට වෙඩිතැබීම සම්බන්ධයෙන් සුජිත් සොයිසා සහ තවත් අයකු හෝමාගම ගැමුණු මාවතේ සැඟ වී සිටියදී ඉකුත් 19 වැනි දා අත්අඩංගුවට ගත්තේය. ඒ වෙඩි තැබීමට යොදාගත් ගිනි අවියත් යතුරු පැදියත් සමඟිනි. ඔවුන් දෙදෙනා අම්බලන්ගොඩ සහ කොස්ගොඩ පදිංචිකරුවන්ය. ඔවුන්ව සඟවාගෙන සිටි නිවසේ හිමිකාරියවන 64 වැනි වියේ පසුවන කාන්තාවක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි. පොලිසිය පවසන්නේ අම්බලන්ගොඩ දෙල්දූවේ හෝටලයට එල්ලවුණු වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වී ඇත්තේ සුජිත් සොයිසාගේ බාප්පාගේ පුතා බවයි. එම වෙඩි ප්‍රහාරයෙන් ධනුෂ්ක සොයිසා නැමැති ඔහුද ඝාතනය වී තිබේ. වසන්ත සොයිසාගේ පාර්ශ්වයෙන් ධනුෂ්ක සොයිසාට ජීවිත තර්ජනයක් ඇති බව අවස්ථා කිහිපයකදීම පොලිසිය ඔහුට දැනුම් දෙමින් හෝටල් ගානේ නොයන ලෙස දැනුම්දී තිබී ඇති බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය.

මෙසේ ඝාතනය වී ඇත්තේ අම්බලන්ගොඩ වේනමුල්ලේ පදිංචිව සිටි සඳුන් මධුසංක (26) සහ තිරුමාදුරගේ ධනුෂ්ක සොයිසා යන දෙදෙනාය. ධනුෂ්ක සොයිසා නැමැති අය 2020 වසරේදී ඝාතනය වූ අජිත් සොයිසාගේ සහෝදරයකුගේ පුතෙක් බව පොලසිය සඳහන් කරයි. සඳුන් මධුෂංක වෙඩික්කරුගේ ඉලක්කයක් වී නැති බවත් ඔහු වෙඩි කා ඇත්තේ වෙඩි වැදීමෙන් පසු පිහිණුම් තටාකයට පැන්න අයකුගේ ජීවිතය බේරා ගැනීමට ගොසින් බව සඳහන්ය.

පවුල් දෙකක් අතර කාලයක් තිස්සේ පවතින විරසිකයක් මෙම වෙඩි තබා ගැනීම් වලට මුල් වී ඇතැයි පොලිසිය සඳහන් කරයි. මෙම පවුල් දෙකට සම්බන්ධ සාමාජිකයන් රැසක් පසුගිය කාලය පුරාවටම ඝාතනය වී ඇතැයි පොලිසිය කියයි. මෙම පවුල් දෙකින් වසන්ත සොයිසාගේ පාර්ශ්වය දකුණේ ප්‍රබල අපරාධකරුවෙක් වන කරන්දෙණියේ සුද්දා සහ පොඩි ලැසී යන අය සමඟ සම්බන්ධව සිටින බව පොලිස් විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් තිළිණ රුවන් තිහාර ජයරත්න මහතාව අම්බලන්ගොඩ කුලීගොඩදී 2019 වසරේ ජූලි 3 වැනි දා වෙඩි තබා මරා දමන්නේද කරන්දෙණියේ සුදාගේත් පොඩි ලැසීගේත් මෙහෙයැවීමෙනි. අම්බලන්ගොඩ, ඉඩන්තොට පිහිටි නිවසකට 2016 වසරේ දෙසැම්බර් 5 වැනි දා කඩාවැදුණු සන්නද්ධ කණ්ඩායමක් නිවසේ ජීවත් වූ අඹු සැමි යුවළක් සහ සිව් හැවරදි දරුවෙක් ටී 56 අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමද මෙම පවුල් දෙක අතර පවතින ගැටුමේ ප්‍රතිඵලයකි. තිරිමාදුර ඉන්දික ද සොයිසා (33), අගම්පොඩි දේවිකා ද සොයිසා (27) සහ ඔවුන්ගේ දරුවා වන තිරිමාදුර රන්දික ද සොයිසා (4) එසේ ඝාතනය විය. එම ත්‍රිත්ව ඝාතනය පිටුපස සිටියේ කරන්දෙණියේ සුද්දා සහ පොඩි ලැසියා බවත් ඔවුන් එම ඝාතනයට සම්බන්ධ වී ඇතැයි කියනුයේ වසන්ත සොයිසාගේ කොන්ත්‍රාත්තුවකට අනුව බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.