අගෝස්තු මුල රොගීන්ගේ අඩුවීමක් තිබුණත් කොවිඩ් නැතැයි සිතන්න එපා

මේ මාසයේ දෙවැනි සතියේදී කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 200 ඉක්මවූවද එය නැවතත් 150ක් දක්වා අඩුවීමක් දක්නට ලැබුණද ඉන් ආසාදියතන්ගේ අඩු වීමක් ලෙස ලඝු කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් ප්‍රධාන සම්බන්ධීකාරක, වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ‘දිනමිණ‘ට ඊයේ (22) ප්‍රකාශ කළේය.

අගෝස්තු තුන්වැනි සතියේ කොවිඩ් ආසාදිතයන්ගේ වාර්තා වීම අඩුවක් පෙන්නුම් කළ ද සමාජය තුළ කොවිඩ් 19 ආසාදිතයන් නොමැති බවට නිගමනය කළ නොහැකි බවත් රෝගීන් අඩු වන විට මරණ සංඛ්‍යාව අවම වන බවත් හෙතෙම පැවසීය.

කොවිඩ් රෝගීන්ගේ අඩුවක් පෙන්නුම් කළ ද, සමාජය තුළ කොවිඩ් ආසාදිතයන්ගේ අඩු වීමක් නොමැති විය හැකි බවත් අත්‍යවශ්‍ය කාරණාවකදී හැර කොවිඩ් හදුනා ගැනීමේ පරීක්ෂණ සිදු කර ගැනීමට යොමු නොවීම නිසා රෝගීන් වාර්තා නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

මේ දිනයන්හි සාමාන්‍ය වශයෙන් උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යයාව තිබෙන නිසා සහ ඩෙංගු රෝගය ද පවතින නිසා පුද්ගලයන් කොවිඩ් හඳුනා ගැනීමේ පරීක්ෂණ වෙත යොමු වීම අවම වී ඇතැයි ද ඔහු පැවසීය.

මේ මස ආරම්භයේ සිට ගත වූ දින 20 තුළදී කොවිඩ් ආසාදිත මරණ 95 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තහවුරු කර තිබේ.

ඉන් මරණ 75 ක්ම වයස අවුරුදු 60 න් ඉහළ පුද්ගලයන් බව ද හෙතෙම තහවුරු කර ඇත.

කොවිඩ් ආසාදිතයන් 3228 ක් මේ මස මුල් දින 20 තුළදී පමණක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය දැනුම් දෙයි.

ආසාදිතයන් 100 කට වඩා වැඩි පිරිසක් දිනපතා මෙරටින් මේ වනවිට වාර්තා වන බවත් එම නිසා සියලුදෙනා මේ රෝගය සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවත් එම අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසුවේය.

විශේෂයෙන්ම කොවිඩ් මර්දන බූස්ටර් එන්නත් මාත්‍රා ලබා ගැනීමට වැඩිහිටි පිරිස් ඇතුළු නිදන්ගත රෝග ඇති පුද්ගලයන් ක්‍රියා කළ යුතු බව ද හෙතෙම පැවසීය.

කොවිඩ් මර්දන එන්නත්වල ප්‍රතිඵලයක් ලෙස පසුගිය කාලයේ ආසාදිතයන් වාර්තා වීම අඩු වූ බවත් මේ වන විට කොවිඩ් මර්දන පළමු හා දෙවැනි එන්නත් මාත්‍රාවන්හි ප්‍රතිශක්තිය හීන වී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

වයිරසයට එරෙහිව ශරීරය තුළ ප්‍රතිශක්තිය ගොඩනඟා ගැනීම සඳහා කොවිඩ් මර්දන බූස්ටර් එන්නත් මාත්‍රා ලබා ගැනීමට ජනතාවගේ අවධානය යොමු විය යුතු යැයි ද ඔහු පැවසුවේය.

Leave a Reply

Your email address will not be published.