සර්ව පාක්ෂික වැඩපිළිවෙළට සහාය දෙනවා ඇමැතිකම් එපා

සර්ව පාක්ෂික වැඩපිළිවෙළට සහයෝගය දෙන අතර එම ආණ්ඩුවක ඇමැතිකම් ලබා නොගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැවසූ බව සමඟි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා අතර ඊයේ (22) පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙලෙස පවසා ඇති බව ඒ මහතා ප්‍රකිශ කළේය.

ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා සිදු කර ඇති මේ සාකච්ඡාව ඊයේ (22) දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුව තිබේ.

විපක්ෂ නායකවරයා සමඟ සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාද මේ සාකච්ඡාවට එක්ව තිබේ.

රංජිත් බද්දුම බණ්ඩාර මහතා සඳහන් කරන්නේ මෙම සාකච්ඡාවේදී විපක්ෂ නායකවරයා කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර ඇති බවයි.

සර්ව පාක්ෂික ක්‍රියාවලියකට තම කණ්ඩායමේ සහයෝගය ලබාදිය යුත්තේ කෙසේද?, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි ක්‍රියාත්මක කිරීම, මේ වන විට සිදු කෙරෙන අත්අඩංගුවට ගැනීම් සහ මර්දන ක්‍රියා මාර්ග නැවැත්වීම, ඉදිරි මැතිවරණයක් පවත්වනු ලබන දින වකවානු, කෝප්, කෝපා ඇතුළු පාර්ලිමේන්තු කාරක සභාවල ප්‍රධාන තනතුරු විපක්ෂයට ලබාදීම, ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.

ඉදිරියේදී පත් කිරීමට නියමිත කැබිනට් මණ්ඩලය සීමා සහිත නියෝජිතයන් පිරිසකගෙන් යුක්තව පත් කරන ලෙස මෙහිදී විපක්ෂ නායකවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී බව රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.