ත්‍රස්තපනත නිසා එතෙර සහාය නැති වේවි

ත්‍රස්තවාදය වැළැක්වීමේ වෙනුවට නව පනතක් ගෙනඑන තුරු දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක නොකරන බවට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාවට පොරොන්දු වී ඇති බවත්, එම පොරොන්දුව කඩකිරීම ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සහය ලබාගැනීමේ ක්‍රියාවලියට බාධාවක් විය හැකි බවත් ශ්‍රී ලංකා පෙරමුණේ ප්‍රතිසංස්කරණ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (24) පැවසීය.

තමන් විදේශ කටයුතු අමාත්‍යවරයාව සිටි සමයේ එම පොරොන්දුව දුන් බවත්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ද එය අනුමත කර එසේ ක්‍රියා කරන ලෙසට අදාළ අංශවලට අවශ්‍ය උපදෙස් දී තිබූ බවත් හෙතෙම සඳහන් කළේය.

මෙම පනත ක්‍රියාත්මක කර පෙලපාලි, අරගලවලට සම්බන්ධ පුද්ගලයන් දින 90ක් රඳවා ගැනීම ජාත්‍යන්තරයට දී ඇති ප්‍රතිඥාවට සම්පූර්ණ පටහැනි බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් මෙරටට පැමිණ සාකච්ඡා පවත්වන අවස්ථාවක මෙරට මානව හිමිකම් තත්වය විවේචනයට ලක්වෙමින් තිබීම එම අරමුදලේ සහය ඇතුළු රටට අවශ්‍ය ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීමේ ප්‍රයත්නයට බාධාවක් බවත් මන්ත්‍රීවරයා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ යම් යම් ක්‍රියාමාර්ග ගැනීම වැරදි සහගත බව, එම පනත වෙනුවට නව පනතක් ගෙන එන බවට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කර ඇති ප්‍රකාශයෙන්ම පැහැදිලි වන බව ජී.එල් පීරිස් මහතා කීවේය.

Leave a Reply

Your email address will not be published.