බටපොත හාඩ්වෙයාර් හිමිකරුට වෙඩි පිට වෙඩි

යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු ඊයේ (24) දහවල් ගම්පහ කෙහෙල්බද්දර බටපොත පිහිටි ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවිසලක හිමිකරුවකුට වෙඩි තබා ඝාතනය කර පලා ගොස් තිබේ.

ගම්පහ නැදගමුවේ පදිංචිකරුවකු වන බස්නායක අප්පුහාමිලාගේ අනුරාධ පුෂ්පකුමාර නමැති 34 හැවිරිදි දෙදරු පියකු මෙසේ ඝාතනය වී ඇත.

මේ ඝාතනය ඩුබායිහි රැඳී සිටින බව කියන මාකිලංගමුවේ සංජීව නමැති කුඩු පාතාලයේ ප්‍රබලයාගේ මෙහෙයැවීම මත සිදුව ඇති බව පාතාල අපරාධ විමර්ශන පොලිස් කණ්ඩායම් වෙත ලැබී ඇති තොරතුරුවල සඳහන්ය.

ගම්පහ අධිකරණය ආසන්නයේදී පසුගිය ජුනි 27 දා වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වූ පස් පොඩ්ඩාගේ ඝාතනයට පළිගැනීමක් ලෙස මේ ඝාතනය සිදුව බව අනාවරණය වී තිබේ.

පොලිසිය පවසන්නේ ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා කිසිදු අපරාධයකට සම්බන්ධ හෝ අපරාධකරුවකු සමඟ සම්බන්ධකම් පවත්වන අයකු නොවන බවය. මේ ව්‍යාපාරිකයා විවාහ වී සිටින්නේ පස් ව්‍යාපාරිකයකුගේ නැගණියක් සමඟය. පස් පොඩ්ඩාගේ ඝාතකයා බව කියන ඩුබායිහි රැඳී සිටින පත්මසිරි නොහොත් කෙහෙල්බද්දර පත්මේ සමඟ හිතවත් බවත් ඒ හේතුව නිසා පත්මේට දැනෙන්නට මේ වෙඩි තැබීම කර ඇති බව පෙනී යන බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

පස් පොඩ්ඩා සහ මාකිලංගමුවේ සංජීව මිතුරන් බවත් සංජීවගේ හයිය හේතුවෙන් පස් පොඩ්ඩා මරණ බියකින් තොරව නිදහසේ සිට ඇති බවත් කියති. පස් පොඩ්ඩාගේ ඝාතනයත් සමඟ වියරුවැටී ඇති මාකිලංගමුවේ සංජීව පවසා තිබුණේ පත්මේ රටින් පිට සිටියත් ඔහුට ගෑවුණු සෑම අයකුගෙන්ම පළිගන්නා බවකි.

ඒ අනුව පස් පොඩ්ඩාගේ ඝාතනයට පළිගැනීමක් ලෙස ඉකුත් 06 දා පත්මේගේ ඥාතියකු පවත්වාගෙන යන ගම්පහ කෙහෙල්බද්දර පිහිටි කොණ්ඩා කපන ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කරන අතර එහිදීද 20 හැවිරිදි අහිංසකයෙක් ඝාතනයට ලක්විය. පොලිසිය පවසන්නේ ඊයේ සිදුවූ දෙවැනි ප්‍රහාරයෙන්ද අහිංසකයකු ඝාතනය වී ඇති බවය. තුවක්කුකරුවන් දෙදෙනා ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවි ස්ථානයට පැමිණෙන විට ඝාතනයට ලක්වූ පුද්ගලයා එහි සිට නැත. ඔහු වැලි ලෝඩ් එකක් බෑමට ගොස් සිට ඇති බව පොලිසිය කියයි. ඇණවුමකට අනුව එම වැලි ලෝඩ් එක බා ඔහු නැවත සිය ව්‍යාපාරික ස්ථානයට පැමිණ ලොරියෙන් බිමට බසිනවාත් සමඟ වෙඩි ප්‍රහාරයට ඔහු ලක්ව තිබේ. වෙඩි කිහිපයක්ම වෙඩික්කරු එල්ල කර ඇත. පොලිසිය පවසන්නේ පිස්තෝලයක් වෙඩි තැබීමට යොදාගෙන ඇති බවය.

ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතාගේ අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරි තුසිත කුමාර මහතාගේ උපදෙසින්, ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විමර්ශන පවත්වයි.

ගම්පහ කොට්ඨාස අපරාධ ස්ථානීය පරීක්ෂණාගාර නිලධාරීන්ද (ෂොකෝ) වෙඩි තැබීම වූ ස්ථානයට පැමිණ පරීක්ෂණ පවත්වා තිබුණු අතර, වෙඩි තැබීම එම ස්ථානයේ තිබුණු ආරක්ෂක කැමරා පද්ධතියේද සටහන්ව තිබී ඇත.

Leave a Reply

Your email address will not be published.