සමන් පෙරේරා 31 වැනි දා දක්වා රිමාන්ඩ්

අත්අඩංගුවට ගනු ලැබූ අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් පෙරේරා මේ මස 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ සැකකරු තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කිරීමෙන් පසුව යි.
පසුගිය ජුනි මස 5 වනදා තංගල්ල මොරකැටිආර ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් දෙදෙනෙකුට තුවාල සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකුට සැඟ ව සිටීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත මොහු ඊයේ (24) අත්අඩංගුවට ගනු ලැබුවේ තංගල්ල පොලිසිය මගින්.
සැකකරු 46 හැවිරිදි කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ අතර, පසුගිය මැයි මස 9 වැනි දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුන් දෙනෙකුගේ නිවාස සහ දේපලවලට අලාභ හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්නට අයත් කිරිදිවැල ප්‍රදේශයේ පිහිටි නිවසට හා දේපලවලට පහර දී අනර්තයක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔවුන් අවුරුදු 27 සහ 35 යන වයස්වල පසු වන ඌරාපොල ප්‍රදේශයේ පදිංචිකරුවන්.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායකගේ හොරණ ප්‍රදේශයේ පිහිටි නිවසට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු 39 හැවිරිදි හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ සහ රෝහිත අබේගුණවර්ධනගේ නිවාසවලට පහර දීමේ සිද්ධියට අවුරුදු 17 සහ 25 යන වයස්වල පසු වන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.
මේ අතර, කොටුව බැංකු මාවත ආරම්භක ස්ථානයේ විරෝධතාවයක දී යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු ඊයේ අත්අඩංගුවට ගත්තා.
ඔහු 36 හැවිරිදි ගෝනපීනුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Leave a Reply

Your email address will not be published.