බැටරි මිල ඉහළට

විද්‍යුත් යතුරුපැදි හා පාපැදි, බලපත්‍ර යටතේ ආනයනය කිරීමට අවසර ලබාදෙමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ පසුගිය 23 වනදා සිට ක්‍රියාත්මක වන පරිදියි.
ඒ අනුව, විද්‍යුත් යතුරුපැදි ගෙන්වීමේ දී රුපියල් 4000ක් හා පාපැදියකට රුපියල් 1000ක් ලෙස බලපත්‍ර ගාස්තුවක් අය කිරීමට නියමිත යි.
මේ අතර, පෙරේදා සිට ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය වන වාහන, ගල් ඇතුළු අමුද්‍රව්‍ය රැසක් ද කොන්දේසි සහිතව ආනයනය කිරීමට අවසර ලබා දී තිබෙනවා.
මෙලෙස ආනයනය කළ හැක්කේ, ආයෝජන මණ්ඩලය යටතට නො ගැනෙන අනුමත නිවාස ව්‍යාපෘති, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති හා රජයේ ව්‍යාපෘති සඳහා පමණයි.
අදාළ ආනයන සිදු කිරීමේ දී ව්‍යාපෘති වාර්තාවල නිෂ්චිත ව දක්වා ඇති වාහන හා අමුද්‍රව්‍ය ප්‍රමාණයන් දින 180ක ණයවර ලිපි යටතේ ආනයන අපනයන පාලක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් හා මුදල් අමාත්‍යවරයාගේ අවසර ගැනීම් සිදු කළ යුතු යි.
මේ අතර, තෝරාගත් කාණ්ඩ 305කට අයත් භාණ්ඩ ආනයනය කිරීම තාවකාලිකව තහනම් කිරීමට මුදල් අමාත්‍යාංශය පසුගිය 23 වන දා පියවර ගත්තා.
ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ දැක්වෙන්නේ අදාළ තහනම ඊයේ දිනයේ සිට නැවත දැනුම්දෙනතුරු බලපැවැත්වෙන බවයි.
කෙසේ වෙතත්, ඊයේ දිනට පෙර නැව් ගතකළ සැප්තැම්බර් 14 වැනි දාට පෙර ගෙන එන භාණ්ඩ සඳහා එය අදාළ වන්නේ නැහැ.
මෙලෙස ආනයනය තවදුරටත් සීමා වන භාණ්ඩ අතරට කිරි, ක්‍රීම් වර්ග, බටර්, කැපූ මල්, ඕට්ස්, චොකලට්, පළතුරු, බීර, පොල් අරක්කු, සුවඳ විලවුන්, රූපලාවන්‍ය ද්‍රව්‍ය, ෂැම්පු, අත්බෑග්, කාන්තා, පිරිමි සහ ළමා නිමි ඇඳුම්, පිහි, කතුරු, වායුසමීකරණ, ශීතකරණ, ගෘහ විදුලි උපකරණ, දුරකථන සහ උපාංග ඇතුළත්.
මේ අතර, මෑතක දී පැනවූ ආනයන සීමාවලට ජංගම දුරකථන බැටරි ද ඇතුළත් කර ඇති බැවින් ඉදිරියේ දී ජංගම දුරකථන බැටරි මිල ද ඉහළ යනු ඇතැයි ජංගම දුරකථන ගෙන්වන්නන්ගේ සහ අලෙවිකරුවන්ගේ සංගමය පවසනවා.
කෙසේ වෙතත්, මේ වනවිට ජංගම දුරකථනවල හිඟයක් ද පවතින අතර, ඒවායේ මිල ගණන් ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි වෙළඳුන් ප්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published.