සනත් නිශාන්ත අධිකරණයට අපහාස කළා ද?

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදු කර ඇත්දැ යි සොයා බලා වහා ම තමාට වාර්තා කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.
ඒ ඊයේ (24) දිනයේ දී මැයි නව වැනි දින කොළඹ ගාලූ මුවදොර පැවති අරගලය විරෝධතා ව්‍යාපාරයට පහර දීම සම්බන්ධයෙන් වන නඩුව කැඳවූ අවස්ථාවේ දී යි.
එහි දී අරගළකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය සිය දේශනයේ දී සඳහන් කළේ, උසාවි වැඩ කටයුතුවලට බලපෑම් සිදු වන ආකාරයේ ‍ප්‍රකාශ සහ ක්‍රියාකාරකම්වලින් වැළකී සිටින ලෙසට විත්තිකරුවන්ට දැනුම් දී ඇති පසුබිමක පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මාධ්‍ය හමුවක් කැඳවා නීතිඥයන් සහ ඇතැම් විනිසුරුවරුන් අරගළකරුවන්ට පක්ෂපාතී ලෙස කටයුතු බවට ප්‍රකාශ කළ බව යි. මෙහි දී මෙම ප්‍රකාශය සනාථ කිරීම සඳහා ජනාධිපති නීතිඥවරයා අදාළ හඬ පටය ඇතුළත් වීඩියෝවක් ද ඉදිරිපත් කළා.
මේ අවස්ථාවේ දී කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට දැනුම් දුන්නේ, අදාළ මාධ්‍ය හමුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සිදු කළ ප්‍රකාශයන් හරහා අධිකරණයට හෝ එහි ක්‍රියාකාරීත්වයට යම්කිසි අපහාසයක් සිදු වී ඇත්දැ යි සොයා බැලීම සඳහා වහා ම පියවර ගන්නා ලෙස යි.
ඒ සඳහා එම මාධ්‍ය හමුවේ සංස්කරණය නො කළ වීඩියෝ පට පරිශීලනය කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් කොටුව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් උපදෙස් දී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත්වරයාගේ අත්සනින් මාධ්‍ය ආයතන වෙත නිකුත් කෙරෙන නියෝගය අද දිනයේ දී කොටුව මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව යි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ සහ මිලාන් ජයතිලකගේ ජංගම දුරකථන වහා ම අධිකරණයට බාර දෙන ලෙසටත් කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
එමෙන්ම මීට පෙර සිදු කළ එම නියෝගයට අනුව ජංගම දුරකථන අධිකරණයට භාර නො දීම සම්බන්ධයෙන් සිය දැඩි අප්‍රසාදය පළ කළ කොටුව මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් දැඩි අවවාදයක් ද සිදු කරමින් කියා සිටියේ, අධිකරණ නියෝගයන්ට සහ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට සහයෝගය ලබා නො දෙන්නේ නම්, ඇප අවලංගු කර නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කරන බව යි.
මීට අමතර ව අරගළකරුවන්ට පහර දීමේ චෝදනාවන්ට ලක් ව සිටින ඩෑන් ප්‍රියසාද් සහ සතා නාලක පරිහරණය කරන ජංගම දුරකථන ද වහා ම අධිකරණයට භාර දෙන ලෙසත් මෙහි දී නියෝග කෙරුණා.
මෙහිදී ඩෑන් ප්‍රියසාද් භාවිත කළ ජංගම දුරකථනය අලුත්වැඩියාවක් සඳහා භාර දී ඇති බවත් එම අලුත්වැඩියා වෙන් අනතුරු ව අදාළ ජංගම දුරකථනය අධිකරණයට භාර දෙන බවත් ඔහු පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published.