රන්ජන් නිදහස්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුව සිර දඬුවම් ලැබූ හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායකට කොන්දේසි සහිත ජනාධිපති සමාවක් ලබාදී තිබෙනවා.
ඒ අනුව මින් ඉදිරියට අධිකරණයට අපහාස වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් සිදු නොකරන ලෙස වන කොන්දේසි සහිත සමාවක් ලබාදීමටයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී කටයුතු කර ඇත්තේ.
මේ සම්බන්ධයෙන් වූ ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26) අත්සන් තබා තිබුණා.
අප වාර්තාකරුවන් සඳහන් කළේ සමාව ලැබූ රන්ජන් රාමනායක මීට ටික වේලාවකට පෙර වැලිකඩ බන්ධනාගාරයෙන් පිටත්ව ගිය බවයි.
2017 අගෝස්තු 21වනදා අරලියගහ මන්දිරයෙන් පිටත දී සිදුකළ ප්‍රකාශයට පළමු නඩුව ගොනු කරමින් 2021 ජනවාරි 12 වන දින ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කරනු ලැබුවා.
රන්ජන් රාමනායක දිවුරුම් ප්‍රකාශයක් යොමු කරමින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සමාව අයදීම ඊයේ (25) සිදු කළා.
තමන් සිදු කළ ප්‍රකාශ සම්පූර්ණයෙන් වැරදි බවත් එම ප්‍රකාශය හේතුවෙන් අගවිනිසුරු ඇතුළු නීති ක්ෂේත්‍රයේ සියලුදෙනාට අගෞරවයක් ඇතිවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවයි එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ.
තමා විසින් සිදුකරන ලද ප්‍රකාශ අසත්‍ය බවත් එම ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නා බවටත් ඉදිරියේදී මෙවැනි ප්‍රකාශ සිදු නොකරන බවටත් හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක අධිකරණයට ලබාදුන් දිවුරුම් ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන්.

Leave a Reply

Your email address will not be published.