විදෙස්ගත ශ්‍රමික මුදල් නීත්‍යානුකූලව එවන Lanka Remit ජංගම යෙදවුම හඳුන්වා දෙයි

Lanka Remit නමින් හඳුන්වනු ලබන ජාතික ජංගම යෙදවුම (Mobile app) විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් අතර ප්‍රචලිත කිරීමේ අරමු‍ණෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ශ්‍රී ලංකා මහබැංකුව එක්ව සංවිධානය කළ, එහි විශේෂාංගයන් හඳුන්වාදීමේ උත්සවයක් අද (26) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැත්විණි.

විදෙස් රැකියා සදහා පිටත්වීමට සූදානම් වන ශ්‍රමිකයන් වෙත Lanka Remit ජංගම යෙදුම තුළින් ලැබෙන පහසුකම් සහ ප්‍රතිලාභ හඳුන්වා දීමට මෙහිදී ප්‍රමුඛත්වය ලබා දෙන ලදී .

Lanka remit ජංගම යෙදුම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්හට ශ්‍රී ලංකාව වෙත වේගවත්ව, ආරක්ෂිතව සහ වඩාත් පහසුවෙන් ප්‍රේෂණ එවීම සඳහා ප්‍රවේෂයක් ලබාදෙයි.

Lanka remit ජංගම යෙදුම හරහා ශ්‍රී ලංකාවේ ප්‍රතිලාභීන් වෙත මුදල් එවීමට විදේශ ශ්‍රමිකයන් හට හැකි වන අතර, විදේශයන්හි නිකුත් කරන ලද විද්‍යුත් අරමුදල් හුවමාරු කාඩ්පත් භාවිතා කිරීමෙන් විදුලි බිල්පත් හා ජල බිල්පත් ආදී උපයෝගිතා බිල් පත් සඳහා ගෙවීම් කිරීමට ද හැකි වේ.

Lanka Remit ජංගම යෙදුම මගින් එය භාවිතා කරන්නන්හට අගය එකතු කළ සේවාවන් රැසක්ද ලබාදෙයි. ඒ අනුව තමාට ආසන්නතම ලියාපදිංචි මුදල් හුවමාරු සේවා සපයන්නන් සහ එම මුදල් හුවමාරු කාර්යාල පිහිටා ඇති ස්ථාන පිළිබඳ තොරතුරු සොයා ගැනීමට ද මෙම යෙදුම හරහා හැකිවේ.

Lanka remit ජංගම යෙදුම Google play store, Apple app store සහ Huawei app gallery වෙතින් ඕනෑම රටක සිට ශ්‍රී ලංකාවට මුදල් එවන ඕනෑම අයෙකුට බාගත (Download) කළ හැකිය. Lanka Remit ජංගම යෙදුම හා සම්බන්ධ වී සිටින මුදල් ප්‍රේෂණ සේවා සපයන්නන් අඛණ්ඩව වැඩිවෙමින් පවතින අතර, ශ්‍රි ලංකාවට මුදල් ප්‍රේෂණය කිරීමට පහසුකම් සැපයීම සඳහා නුදුරු අනාගතයේදී ගෝලීය මුදල් හුවමාරු සේවා සපයන්නන් හා ගෝලීය මූල්‍ය  නවොත්පාදකයන් ඇතුළු මූල්‍ය සේවා අංශයේ තවත් සේවා සපයන්නන් මෙම යෙදුම සමග සම්බන්ධ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published.