පාසල් රග්බි ලෝකයේ ශූර සාන්ත පීතරයින්ට තහනමක්

ලබන වසරේදී පැවැත්වෙන අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේදී බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය පළමු කොටසේ A කාණ්ඩයේ සිට දෙවැනි කොටසේ A කාණ්ඩය දක්වා පහත හෙළීමට ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනය සහ අධ්‍යාපන අමාත්‍යංශය විසින් පසුගියදා පියවර ගත්තා.
ඒ මෙවර පාසල් ලීග් රග්බි තරගාවලියේ මහනුවර ධර්මරාජ විද්‍යාලය සමග පැවැති තරගයේදී සාන්ත පීතර කණ්ඩායමට නුසුදුසු ක්‍රීඩකයකු ක්‍රීඩා කළ බවට එල්ල වු චෝදනාවත් සමගයි.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් පත් කළ විනය කමිටුව විසින් සිදු කළ පරික්ෂණයේ වාර්තාව එළිදක්වමින් සාන්ත පීතර රග්බි කණ්ඩායමට මෙලෙසින් දඩුවම් පමුණුවන්නට පියවර ගත්තා.
මීට අමතරව ඊයේ ආරම්භ වු අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියට ක්‍රීඩා කිරීමත් සාන්ත පීතර විද්‍යාලීය කණ්ඩායමට තහනම් කර තිබෙන අතර ඔවුන් නිමා වු අන්තර් පාසල් ලීග් තරගාවලියේදී ලබාගත් ලකුණු සහ ජයග්‍රහණයන් අවලංගු කරන්නටත් කටයුතු කළා.
එමෙන්ම කණ්ඩායම් භාර ආචාර්යවයාට වසරක කාළයක් සාන්ත පීතර විද්‍යාලීය රග්බි කණ්ඩායම භාර ගැනීම තහනම් කරන්නට සහ පාසල් රග්බි සම්මේලනය සංවිධාන කරනු ලබන තරගාවලිවල දී ඔහුගේ සහභාගීවය වසරකින් අත් හිටුවන්නටත් තීරණය කර තිබෙනවා.
සාන්ත පීතර විද්‍යාලීය රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුට ද විනයානුකූලව කටයුතු කිරීමටත් මෙම කමිටුව විසින් නිර්දේශ කළා.
කෙසේ වෙතත් මෙම විනය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් සාන්ත පීතර විද්‍යාලීය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ චෝදනා එල්ල වන ක්‍රීඩකයා දැනටමත් පාසලේ අ.පො.ස උසස් පෙළ ඉගෙනුම ලබමින් සිටින බවටයි.
අධ්‍යාපන අමාත්‍යංශය විසින් 2021 වසරේ සැප්තැම්බර් මස 28 වැනිදා නිකුත් කරනු ලැබු චක්‍ර ලේඛයට අනුව අදාළ සිසුවාට උසස්පෙළ හදාරන්නට අවස්ථාව හිමි වී ඇති බවත් එම නිවේදනයේ සදහන්.
එසේ තිබියදී, මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා කිසිදු අවස්ථාවක් සාන්ත පීතර විද්‍යාලීයට ලබා දෙන්නට ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනය කටයුතු නොකළේ ඇයි ද යන්න ගැනත් මෙම නිවේදනයෙන් ප්‍රශ්න කරනවා.
අන්තර් පාසල් පිලිමළුන් පිටුදැකිමේ රග්බි තරගාවලියේ ආරම්භයට දිනකට පෙර එනම් මෙම මස 26 වැනිදා Email පණිවිඩයක් යොමු කරමින් සාන්ත පීතර විද්‍යාලීය රග්බි කණ්ඩායමට එම තරගාවලියට එක්විය නොහැකිබව ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනය විසින් දැනුම් දීම විස්මයට කරුණක් වු බවත් මෙම නිවේදනයේ සදහන්.
වසර 90ක් පුරා කිසිදු රග්බි වින කඩකිරීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල නොවු තම විද්‍යාලයට මෙලෙසින් පාසල් රග්බි තහංචි පැනවීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව සාන්ත පීතර විද්‍යාලයේ විදුහල්පතිවරයා පවසනවා.

Leave a Reply

Your email address will not be published.