නීති විරෝධී අන්දමින් රටින් පනින්න පිරිසක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැක කෙරෙන පුද්ගලයන් 44 ක්, ඊයේ (28) රාත්‍රියේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ. 

ඒ නාවික හමුදාව ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ මඩකලපුව, වලෙයිතෝට්ටම් වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීය. 

එම විශේෂ මෙහෙයුමේදී, පි 465 වේග ප්‍රහාරක යාත්‍රාව මඟින් ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සැකකටයුතු ලෙස යාත්‍රා කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක්කර තිබේ. 

එහිදී, එම බහුදින ධීවර යාත්‍රාවේ සිටි ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් පස් දෙනෙකු ඇතුළුව වයස අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් 25 ක්, කාත්තාවන් 02 ක් සහ වයස අවුරුදු 18 ට අඩු දෙදෙනෙක් ඇතුළුව පුද්ගලයන් 29 දෙනෙකු එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණි. 

මීට අමතරව, එම මුහුදු ප්‍රදේශයේදීම තවත් සැකකටයුතු ලෙස යාත්‍රා කරමින් තිබු වෙනත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කෙරුණි. 

එහිදී, එම බහුදින ධීවර යාත්‍රාවේ සිටි වයස අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් 05 ක් සමඟ එම බහුදින ධීවර යාත්‍රාවද නාවික හමුදා භාරයට ගෙන තිබේ. 

එමෙන්ම නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවන් මඟින් නීති විරෝධි ලෙස මෙරටින් සංක්‍රමණය වීමට සූදානමින් සිටි බවට සැක කෙරෙන, ලංකාපටුන වාලන්තෝට්ටම් වෙරළ ප්‍රදේශයේ රැඳී සිටි වයස අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් 10 දෙනෙකු, නැගෙනහිර නාවික විධානයේ ශ්‍රි ලංකා ‍නාවික නෞකා ලංකාපටුන ආයතනය මඟින් ලංකාපටුන වලෙයිතෝට්ටම් වෙරළ ප්‍රදේශයේ සිදුකළ තවත් සෝදිසි මෙහෙයමුකදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදාව භාරයට ගත් පුද්ගලයන් පිරිස ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, පුත්තලම, හම්බන්තොට, වාලච්චේන, කල්මුනේ, අක්කරෛපත්තු සහ කුච්චවේලි යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත. 

නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන් ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකලපුව, ඊච්චලම්පත්තු පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙ‍රුණි. 

තවද, ජාවාරම්කරුවන් විසින් මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් අනාරක්‍ෂිත යාත්‍රා යොදාගනිමින් සංවිධානය කරනු ලබන මෙවැනි මිනිස් ජාවාරම් වලට හසුවී නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර ජීවිත අවදනාමට පත්වීමෙන් සහ නීතිය ඉදිරියේ වරදකරුවෙකු වීමෙන් වළකින ලෙස නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published.