ශ්‍රී ලංකාවට තෙල් දෙන්න රටවල් 10ක සමාගම් 24ක් ඉදිරිපත් වෙයි

මෙරටට ඛණිජ තෙල් ව්‍යාපාරයේ නිතරවීම සඳහා විදෙස් රටවල් 10කට අයත් සමාගම් 24 කින් යෝජනා භාර දී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අමෙරිකාව, චීනය, ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, එක්සත් අරාබි එමීර්, සෞදි අරාබියාව, මැලේසියාව, නෝර්වේ සහ පිලිපීනය යන රාජ්‍යයන් මෙසේ යෝජනා ඉදිරිපත් කර තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ කමිටුවක් මඟින් මෙම යෝජනා ඇගයීමට ලක් කර සති 6ක් ඇතුළත මෙම ක්‍රියාවලිය අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

මෙරට ඉන්ධන ආනයනය සහ බෙදාහැරීම තනිවම රාජ්‍ය යාන්ත්‍රණයට සිදු කිරීමට ඇති අපහසුතාව මත ජුනි 28 දා කැබිනට් අනුමැතිය ඇතිව ඛනිජ තෙල් නිපදවන රටවල් හි ස්ථාපිත සමාගම් සඳහා මෙරට ඉන්ධන බෙදාහැරීම් ක්ෂේත්‍රයේ ආයෝජනය සඳහා ආරාධනා කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කෙරිණි.

ඒ අනුව මෙරට ඉන්ධන බෙදාහැරීම් ක්ෂේත්‍රෙය් ආයෝජනය කිරීමට කැමැති ආයෝජකයන්ගෙන් අභිලාෂ කැඳවීම් ප්‍රසිද්ධ දැන්වීමක් මගින් පසුගිය ජූලි මස 25 දා ආරම්භ කෙරිණි.

මෙහිදී මේ සඳහා අභිලාෂ ඉදිරිපත් කරන්නන් වෙත විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කෙරිණි. අදාළ සමාගම් ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටක ස්ථිර වශයෙන්ස්ථාපිත සමාගමක් වීම, ගිවිස ගන්නා කාලයක් පුරාවට ඔවුන්ගේ අරමුදල් භාවිත කරමින් ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනයට එකඟ වීම, ඛනිජ තෙල් සංස්ථාව සමඟ දීර්ඝ කාලීන ගිවිසුමකට එලැඹෙමින් අඛණ්ඩ ඉන්ධන සැපයුමකට එකඟ වීම යන කොන්දේසි අදාළ ආයෝජකයක් වෙත ඉදිරිපත් කෙරිණි. අදාළ සමාගම් ඔවුන්ගේ අරමුදල් භාවිත කරමින් මෙරටට ඉන්ධන ආනයනය කර බෙදාහැරීම සඳහා ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් සහ ඛනිජ තෙල් සංස්ථාව අලුතින් ඉදිකරන පිරවුම්හල් භාවිත කරමින් ඉන්ධන මහජනතාවට බෙදාහැරීමේ අවස්ථාව හිමි වේ.

මීට අමතරව එසේ මෙරටට ආනයනය කරන සියලු ඉන්ධන මෙරට ඉන්ධන ප්‍රමිතීන්ට අනුකූල විය යුතු බවට ද විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය එම දැන්වීමේ දක්වා තිබේ. අදාළ සමාගම් එවා ඇති අභිලාෂයන් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා ප්‍රමුඛ කමිටුවක් මඟින් ඇගයීමට ලක් කිරීමට නියමිතය. රටේ සමස්ත ඉන්ධන සැපයුමෙන් 90%කට පමණ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව දායකත්වය දරන අතර, ඉතිරි 10% ලංකා ඉන්දියානු තෙල් සමාගම සපයනු ලබයි.මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ පා ඇති විදේශ විනිමය අර්බුදය හේතුවෙන් රට තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීම රජයට දැඩි අභියෝගාත්මක කාර්යයක් වී ඇත.

Leave a Reply

Your email address will not be published.