උණ්ඩියල්-හවාලා අල්ලන්න වෙනම CID ඒකකයක්

අවිධිමත් ආක­ාරයට විදෙස් මුදල් ගනුදෙනු කිරීමේ යෙදෙන පුද්ගලයන් සම්බන්ධව විමර්ශන පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය යටතේ විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පියවර ගෙන තිබේ. ජාවාරම් මැඬ පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහ බැංකු අධිපතිවරයා කළ ඉල්ලීමකට අනුව මෙම ඒකකය ස්ථාපිත කෙරිණි.

බැංකු පද්ධතියෙන් පිටත හවාලා සහ උණ්ඩියල් වැනි අවිධිමත් ක්‍රම ඔස්සේ නීති විරෝධි ලෙස විදෙස් මුදල් හුවමාරු කිරීම් සහ බැංකු පද්ධතියෙන් පිටත ක්‍රම ඔස්සේ විදේශගත ශ්‍රමිකයන් කරන විදෙස් මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් මේ යටතේ විමර්ශනය කිරීමට නියමිතය. ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික අර්බුදය තිව්‍ර වීමට ප්‍රධාන සාධකයක් ලෙස රටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණයේ සැලකිය යුතු අඩුවීම බව ශ්‍රී ලංකා මහ බැංකුව නිරීක්ෂණයකර ඇති බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

අවිධිමත් විදේශ විනිමය හුවමාරු කටයුතු මැඬ පැවැත්වීමට 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණ පනතේ 3 සහ 4 වැනි වගන්ති මඟින් විදේශ මුදල්වල මූලාශ්‍රය හෝ උපයාගත් ආකාරයට අණාවරණය කර ගැනීමට විමර්ශන සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුවේ නිලධාරීන් සමඟ සම්බන්ධිකරණය සිදු කිරීමටද කටයුතු කරනු ඇති බව නිහාල් තල්දූව මහතා පැවසීය. ඒ අනුව ඉදිරියේදී මෙම විමර්ශන තවදුරටත් පුළුල් කරන බැවින් අවිධිමත් ක්‍රම මඟින් විදේශ ප්‍රේෂණ ලැබීම් සහ ගෙවීම් සිදු නොකරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published.