වතුර බිල වැඩි කිරීම කුමන්ත්‍රණයක් – අසේල සම්පත්

වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ සියලු භාණ්ඩ හා සේවාවල මිල ඉහළ ගොස් ඇත. ඒ අතරට එකතු වූ නවතම මිල වැඩි වීම වන්නේ ජල බිල්පත්ය. මේ සම්බන්ධයෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති අසේල සම්පත් සමඟ කළ සාකච්ඡාවකි මේ.

l ජල බිල ඉහළ දැමීම සාධාරණ සහ කළ යුතුම දෙයක් කියල බලධාරීන් සඳහන් කරනවා. ජල ගාස්තු ඉහළ දැමීම ගැන ඔබේ අදහස මොන වගේද?

මේ වෙලාවේ විදුලි බිල, තෙල් මිල වැඩි වෙලා. හැම භාණ්ඩයකම මිල තුන් හතර ගුණයකින් වැඩි වෙලා. එහෙම වෙලාවක මිනිස්සු ලොකු පීඩාවකින් ඉන්නෙ. ඒ පීඩනය තවත් වැඩි කරමින් තමයි ආණ්ඩුව වතුර බිලත් වැඩි කළේ. අපේ ගමේ භාෂාවෙන් කියනවා නම් මේකට කියන්නේ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා කියලා. ඒත් මෙතැන වෙලා තියෙන ඊටත් අන්ත දෙයක්. පාරිභෝගිකයා පමණක් නොවෙයි සාමාන්‍ය හෝටල්කරුවන්, ආපනශාලාකරුවන්, වෙළෙඳසල් හිමියන් ලොකු අමාරුවක වැටිලා ඉන්නේ. අපට ජල බිල ඉහළ දැමීම නිසා නැවත ව්‍යාපාරික පාඩුවක් වෙනවා. හෝටලයක පිඟන් සේදීමේ සිට හැමදේටම වතුර විශාල ලෙස වැය වෙනවා. අපට වතුර ගණන් කියල පිඟාන හෝදන්නේ නැතිව කෝප්පය හෝදන්නෙ නැතිව වතුර දෙන්න බැහැ. එළවළු හෝදන්නෙ නැතිව හාල් හෝදන්නෙ නැතිව අපිරිසුදුව කෑම දෙන්න බැහැ. ගෑස් මිල පහළ යෑම නිසා අපි පාරිභෝගිකයාට සහනයක් දුන්නා ඒත් ඒ සහනය දීලා සතියක් ගියේ නැහැ කරන්ට් ගාස්තුව ඉහළ දැම්මා. ඒත් අපි ඉවසිලිවන්තව හිටියා. ජල බිලත් වැඩි වීම නිසා අපට මේ පීඩාව දරා ගන්න බැහැ. ආයෙත් හෝටල් කෑම මිලත් වැඩි කරන්න වෙනවා. එතකොට ඒ පීඩනය පාරිභෝගිකයාගේ හිසට කඩා වැටෙනවා. එතැනින් මේක නවතින්නේ නැහැ. හෝටල් ක්ෂේත්‍රය නැවත කඩා වැටෙනවා. ඒ අංශවල ලොකු පිරිසක් රැකියාව කරනවා. ඔවුන්ගේ රැකියා අහිමි වීමක් වෙනවා. මේ කොයි විදිහට බැලුවත් සාමාන්‍ය මිනිසුන්ටයි නැවත වටයකින් පීඩාව එන්නේ.

ඒ නිසා තමයි අප ඉල්ලා සිටින්නේ හැම දේටම හේතු විමසීමක් නැතිව, මිල වැඩි කිරීම කියන විකල්පය ඉදිරිපත් නොකර, නාස්තිය දූෂණය නැති කර කළමනාකරණය කරන ක්‍රම අනුගමනය කළ යුතුයි කියලා. එතකොට පුළුවන් ජනතාවට සාධාරණ විදිහට මිල ඉහළ දැමීමට වගේම නිසි විදිහට ජල මණ්ඩලය වැනි ආයතන කළමනාකරණය කරන්න.

l ඔබ සඳහන් කරන කළමනාකරණ ක්‍රම ක්‍රියාත්මක කළ හැක්කේ කොහොමද?

ගොඩක් රාජ්‍ය ආයතන පාඩුයි කියන්නේ ජනතාවට නිකම් තමන්ගේ නිෂ්පාදන දීලා නොවෙයිනෙ. උදාහරණයකට ගනිමු තෙල් සංස්ථාව; තෙල් සංස්ථාව පාඩුයි කියල කියනවා. ජල මණ්ඩලය පාඩුයි කියනවා. විදුලිබල මණ්ඩලය පාඩුයි කියනවා. මේ හැම දෙයක්ම පාඩුවෙලා තියෙන්නේ ජනතාවට ණයට හෝ තමන්ගේ නිෂ්පාදන දීල නොවෙයිනෙ. ඒ නිසා මූලිකව මේ ආයතන නිසි විදිහට කළමනාකරණය කළ යුතුයි. අද වෙන්නේ ඒක නොවෙයි, එන එන ආණ්ඩු තමන්ගේ දේශපාලන හිතවතුන් ආයතනවලට පුරවනවා. ඒ අයට මේ ආයතන ගැන විශේෂඥ දැනුමක් නැහැ. ඒ අය දේශපාලනය කිරීම පමණයි කර තිබෙන්නේ. රාජ්‍ය ආයතන මේ විදිහට පාඩු වන්නේ ඒ නිසයි. මුලින්ම මේ වැරැදි ක්‍රම නිවැරැදි කළ යුතුයි.

l ජල බිල ඉහළ යෑම සහ ජලය නාස්තිය අතර සම්බන්ධයක් තියෙනවා. මේ නාස්තිය නැවැත්වීමට ක්‍රමයක් හදන්න පුළුවන් නේද?

සාමාන්‍ය පවුලක පානීය ජලය සඳහා උපරිම ලීටර් විසි පහක් යන්නේ නැහැ. ආහාර පිසීම වගේ දේටත් තව ජල ප්‍රමාණයක් යනවා. පිරිසුදු ජලය අත්‍යවශ්‍ය වෙන්නේ මේ සඳහා පමණයි. ඒත් අපේ ගෙවල්වල වාහන හෝදන්නෙ, ගෙවල් හෝදන්නෙ, බල්ලො නාවන්නෙත් පිරිසුදු නළ ජලයෙන්. අපට පුළුවන් නම් පානය සහ ආහාර පිසීමට ගන්න ජලය සහ සෙසු කාර්ය සඳහා අවශ්‍ය ජලය වෙන වෙනම භාවිත කරන්න. එතකොට ජල නාස්තිය ගොඩක් දුරට පාලනය කරන්න පුළුවන්.

අපේ රටේ සියයට හැත්තෑවක් සිටින්නේ ග්‍රාමීයව හොඳින් වතුර තිබෙන ඇළ දොළ තියෙන පළාත්වල. භූගත ජලය තිබෙන පළාත්වල ජනතාව දිරි ගැන්විය යුතුයි ළිං ජලය මෝටර් කර භාවිත කිරීමට. එහෙම කළොත් ජල නාස්තිය මෙන්ම ජලය සම්පාදනයට යන වියදමත් පාලනය කළ හැකියි.

l ජලය රකින්න වැඩපිළිවෙළක් නැතිව ජල ගාස්තු වැඩි කිරීම පුස්සක් කියලද ඔබ කියන්නේ?

ජනාධිපතිතුමා රටේ තිබූ අසීරු, අයාලේ යන ගතිය පාලනය කර රට යම් ගමනක් ‍රැගෙන යෑමට උත්සාහ කරන වෙලාවක්. දේශපාලන ස්ථාවර බව ඇති කිරීමට උත්සාහ කරන බවක් පෙනෙනවා. ඒත් වතුර බිල වැඩි කිරීම නිසා නැවතත් රට තුළ ආරවුලක් ඇති කිරීමේ කුමන්ත්‍රණයක්ද කියලා අපට සැක හිතෙනවා. එනිසා වතුර බිල ඉහළ යන එක නවත්වන්න ඕනෑ. නැතිනම් අපි මේ බිල වැඩි කිරීමට විරුද්ධව දිගින් දිගටම විරෝධය පළ කරනවා.

Leave a Reply

Your email address will not be published.