ක්‍රිකට් නිලධාරීන් 7කට රට යන්න දොර වැසේ

ආසියා ක්‍රිකට් කුසලානය සඳහා කණ්ඩායම සහ නිලධාරීන් රටින් පිටව ගිය පසු ක්‍රිකට් පාලක මණ්ඩලයේ තවත් නිලධාරීන් හත් දෙනකු දිනකට එක් අයකුට ඩොලර් 650 ක දීමනාවක් සහිතව විදේශ ගත වීමට කළ ඉල්ලීමට අනුමැතිය ලබා නොදුන් බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර් ජුන රණතුංග මහතා පවසයි.

මේ දෛනික දීමනාවට අමතරව ඔවුන්ගේ ගුවන් ටිකට්පත් හා හෝටල් ගාස්තු සියල්ල ක්‍රිකට් පාලක මණ්ඩලය මඟින් දැරීමට නියමිතය තිබූ බවද ඒ මහතා කීය.

මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම පසුගියදා (27) බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රණතුංග මහතා මේ බව ප්‍රකාශ කළේය.

විදේශගතව සිටින දින ගණන අනුව මේ නිලධාරීන් හත්දෙනාට දීමනා ලෙස පමණක් මෙරට මුදලින් රුපියල් මිලියන 30 ක පමණ මුදලක් වැය කෙරෙන බවද හෙතෙම අවධාරණය කළේය.

මේ ආකාරයේ විනෝද චාරිකා සඳහා අනුමැතිය ලබා දිය නොහැකි බවත්, එවැනි ගමන් නතර කර හරි දේ කරන විට ඔවුන් ප්‍රශ්න ඇති කරන බවත් සභාපතිවරයා කීවේය.

ජනපතිවරයාගේ, අගමැතිවරයාගේ, ඇමැතිවරුන්ගේ හා මන්ත්‍රීවරුන්ගේ හා රජයේ නිලධාරීන්ගේ පමණක් නොව මෙවැනි ආයතන වලද අනවශ්‍ය වියදම් කපා හැරිය යුතු යැයි ද රණතුංග මහතා කීය.

එවන සියලු ලියුම්වලට පසුගිය කාලයේ මෙන් අනුමැතිය ලබා නොදෙන බවත් අවශ්‍ය දේ ලබාදෙන අතර, අනවශ්‍ය දේ අත්හිටුවන බවත් ඒ මහතා කීය.

ආසියා ක්‍රිකට් තරගාවලිය සඳහා පිටත්ව යන ක්‍රීඩකයන්ගේත් පුහුණුකරු හා කළමනාකරු ඇතුළු නිලධාරී මණ්ඩලයේත් නම් ලැයිස්තුව ඇමැතිවරයාට ලැබී තිබුණේ පසුගිය 25 දින බවත්, තමන් අතට එය පත්වූයේ 26 වැනි දින බවත් කී සභාපතිවරයා, ඒ වන විටත් මේ අය රටින් පිටව ගොස් සිටි බවද අවධාරණය කළේය.

ඇමැතිවරයාගේ අනුමැතිය නොමැතිව මෙලෙස තරගාවලියකට සහභාගි වීම පිණිස යාමට නොහැකි නමුත් එය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නොමැති බවත් මේ ක්‍රමවේදය වෙනස් විය යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අනුමැතිය ඉල්ලා ක්‍රීඩා අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබූ ලැයිස්තුවට අනුව එම සංචාරය සඳහා අගෝස්තු 26 වැනිදා සිට සැප්තැම්බර් 12 වැනිදා දක්වා කාලසීමාව සඳහන් කර තිබිණි.

ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයන් වන ප්‍රියන්ත අල්ගම, තිලක් වාත්තුහේවා, සමන්ත දොඩංවල, ජනක පතිරණ, චන්න වීරක්කොඩි, නලින් අපෝන්සු සහ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ එම ලැයිස්තුවට ඇතුළත් වූහ.

Leave a Reply

Your email address will not be published.