ශ්‍රී ලංකාවට බලාපොරොත්තුවක් දෙමින් ඇෆ්ගනිස්තානය සුපිරි හතරට

ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරට එක් වීමේ බලාපොරොත්තු රඳවා ගැනීමට අවස්ථාව දෙමින් ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඊයේ පළමුවෙන්ම ‘බී’ කාණ්ඩයෙන් සුපිරි හතර වටයේ ස්ථානයක් වෙන් කර ගත්තේය.

බංග්ලාදේශය සමඟ සාජාහිදී පැවති තරගය කඩුලු 7කින් ජය ගනිමින් ඇෆ්ගනිස්තානය මේ අවස්ථාව උදා කර ගත් අතර, මේ හේතුවෙන් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයේ ජයග්‍රාහකයන්ට සුපිරි හතරට එක් වීමේ අවස්ථාව උදා වනු ඇත.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ පිල ලකුණු 127කින් නතර කළ ඇෆ්ගන් ක්‍රීඩකයන් ඕවර 18.3කදී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියේ කඩුලු 3ක් පමණක් අහිමි කර ගනිමිනි.

ඇෆ්ගන් පිළිතුරු ඉනිමේ මුල් කඩුලු 3 ලකුණු 62ක් තුළ බිඳ වැටුණ ද ඊබ්‍රහීම් සද්‍රාන් සහ නජිබුල්ලා සද්රාන් පන්දු 33කින් ලකුණු 69ක නොබිඳුණු සබඳතාවක් ගොඩනඟමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

තරගයේ වීරයා වෙමින් වේගවත් පිතිහරඹයක නිරත වූ නජිබුල්ලා නොදැවී ලකුණු 43ක් රැස් කළේ පන්දු 17කදී හතරේ පහරක් සහ හයේ පහර 6ක් සමඟිනි. ඊබ්‍රහීම් පන්දු 41කින් ලකුණු 42ක රැස් කළේය.

පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ මුල් සහ මැද පෙළ පිතිකරුවන්ට සාර්ථක වීමට අවස්ථාවක් නොදුන් ඇෆ්ගනිස්තාන පන්දු යවන්නෝ ලකුණු 53ක් වෙද්දී ප්‍රබල පිතිකරුවන් 5 දෙනකු යළි ක්‍රීඩාගාරයට හරවා යැවූහ.

කෙසේ වෙතත් අංක 7 පිතිකරු ලෙස පිටියට පිවිසි මොසාඩෙක් හොසේන් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 48ක් රැස් කිරීමට සමත් වූයේ පන්දු 31ක් පමණක් වැය කරමිනි. පන්දු යැවීමේදී මුජීබ් උර් රහ්මාන් සහ රිෂාඩ් ඛාන් කඩුලු 3 බැගින් බිඳ දැමූහ.

යම් හෙයකින් මේ තරගයෙන් බංග්ලාදේශය ජය ගෙන තිබුණා නම් ශ්‍රී ලංකාවට ඔවුන්ට එරෙහි තරගයේදී පෙරැළියක් කිරීමට සිදු වනු ඇත. මන්ද කණ්ඩායම් 3ම තරගය බැගින් ජය ගත හොත් ප්‍රසාද ලකුණු සම වන අතර, දළ ලකුණු වේගය මත සුපිරි හතරට යන කණ්ඩායම් තීරණය වන බැවිනි. කෙසේ වෙතත් මේ ප්‍රතිඵලය මත බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ ජයග්‍රාහකයන්ට සුපිරි හතරට එක්වීමේ අවස්ථාව උදාවනු ඇත.

බංග්ලාදේශය – 127/7 (ඕවර 20) මොසාඩෙක් හොසේන් නොදැවී 48, මහමුදුල්ලාහ් 25 (මුජීබ් උර් රහ්මාන් 16/3, රිෂාඩ් ඛාන් 22/3)

ඇෆ්ගනිස්තානය – 131/3 (ඕවර 18.3) නජිබුල්ලා සද්රාන් නොදැවී 43, ඊබ්‍රහීම් සද්‍රාන් නොදැවී 42

Leave a Reply

Your email address will not be published.