රුපියල් කෝටි 15ක රන් බිස්කට් රේගු දැලේ

රන් බිස්කට් 60 ක් ඉනේ සඟවා ගෙන කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයකු  කටුනායක ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම රන් බිස්කට් ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එන්නට ඇතැයි රේගු නිලධාරීන් සැක කරන අතර , මොහු ලවා මෙම රන් බිස්කට් තොගය ගුවන් තොටුපළෙන් පිට කිරීමට සූදානම් කර තිබූ බවට රේගුව සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.

රුපියල් පහලොස් කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා රන් තොගය නීති විරෝධී අයුරින් මෙරටින් පිට කිරීමට තැත් කර තිබියදී අත්අඩංගුවට ගත් සැකකරු ජා – ඇළ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි තරුණයෙකි.

කිලෝ 06 යි ග්‍රෑම් 995 ක් බරැති මෙම රන් බිස්කට් පාර්සල් 06 කට සකස් කර  ඉන ප්‍රදේශයේ සගවා ගනිමින්  ගුවන් තොටුපළෙන් පිට කිරීම සදහා රැගෙන යමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම පුද්ගලයා සහ ඔහු රැගෙන ගිය රන් බිස්කට් තොගය ගුවන් තොටුපළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published.