225 ම එකට එකතුවෙලා ගමනක් ගියොත් මේ වලෙන් ගොඩ එන්න පුළුවන් – ප්‍රසන්න

පවතින ආර්ථික අර්බුදය විසදීම සදහා සයවැදෑරුම් වැඩපිළිවෙලක් මත  පදනම්ව අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු බවත්, ඉකුත් වසරේදී අයවැය යෝජනා ඉදිරිපත් කරන අවස්ථාවේ තිබූ තත්ත්වයට හාත්පසින්ම වෙනස් ආර්ථික සහ සමාජීය පසුබිමක් මේ වනවිට රටතුළ ඇතිව තිබෙන බැවින් අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන හා නොකරන සියලුම දෙනාගේ සහය අපේක්ෂා කරන බවත්. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

වියදම් කළමණාකරණය සඳහා පියවර ගැනීම, නව වෙළඳ සහ ආයෝජන ප්‍රතිපත්තීන් හඳුන්වාදීම, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම, නව නීති සහ නීති ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම, රාජ්‍ය මූල්‍ය කළමණාකරණය සඳහා ව්‍යවස්ථාදායකයේ කාර්ය ශක්තිමත් කිරීම වැනි මූලික කරුණු හය මත පදනම්ව සකස් කෙරුණු මෙම අයවැය මෙරට අනාගත ගමන් මගේ දිශානතිය තීරණය කරන බව ද රණතුංග මහතා පෙන්වා දෙයි.

බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන  හා නිවාස අමාත්‍යංශයේදී අද (31) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ඉදිරි කටයුතු සැලසුම් කිරීම සදහා මෙම සාකච්ඡාව පැවැත්විණි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“මෙය ඉතාමත් දුෂ්කර ආර්ථික කොන්දේසි මධ්‍යයේ හදපු අයවැයක්. එවැනි වටපිටාවක් මැද සාමාන්‍ය ජනතාවට පීඩාවක් එල්ල නොකර ජනාධිපතිවරයා මෙවැනි අයවැයක් ඉදිරිපත් කිරීම අපි අගය කරන්න ඕන. මේ රජයට ඉතාම කෙටි කාලයක් ඇතුළත ආර්ථික අර්බුදය ජයගෙන සමාජීය හා දේශපාලික වශයෙන් රට ස්ථාවර කරන්න පුළුවන් බව මට විශ්වාසයි. ඒ සඳහා අවශ්‍ය මූලික පියවර අන්තර්කාලීන අයවැයෙන් ඉදිරිපත් කර තිබෙනවා. ඒ නිසා ජනාධිපතිවරයාගේ රට ගොඩනඟන වැඩපිළිවෙල ශක්තිමත් කරන්න මේ මොහොතේ සියලුම දෙනා එකට එක්විය යුතුයි.

රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ අඩුආදායම් ලාභීන්ට උපරිම සහන ලබාදෙන ගමන්ම අධ්‍යාපනය, සංචාරක, කෘෂිකර්මාන්තය, ප්‍රවාහනය වැනි කේෂ්ත්‍ර නවීන ලෝකයට ගැළපෙන ලෙස දියුණු කරන්න අවශ්‍ය යෝජනා මෙවර අයවැයේ අඩංගු කර තිබෙනවා. විශේෂයෙන්ම මෙවර අයවැයෙන් අධ්‍යාපනයට වැඩි අවධානයක් යොමුකිරීම ඉතා හොඳයි.  එමෙන්ම විදෙස් සිසුන්ට මෙරටට පැමිණ අධ්‍යාපනය හදාරන්නට පහසුකම් සපයාදීමත් ඉතාම හොඳ දෙයක්. ඒ නිසා මෙය කාලීන වශයෙන් රටට අවශ්‍ය සාධනීය ලක්ෂණ අඩංගු කර ඉදිරිපත් කළ අයවැයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. මේක අයිසිං තවරපු සීනි බෝල අයවැයක් නෙමෙයි. මේ අයවැය යෝජනා ක්‍රියාත්මක කරන්න පක්ෂ විපක්ෂ දෙගොල්ලන්ගේම සහය අවශ්‍යයි. අභියෝග බාරගන්න බය විවේචකයෝ මේ අයවැයෙත් අඩුපාඩු කියයි. නමුත් අපි අපේ ගමන යනවා.

කොරෝනා වසංගතය නිසා අපිට දීර්ඝ කාලයක් රට වසා තබන්න සිදුවුණා. රට නැවත විවෘත්ත කරල සංවර්ධන වැඩ පටන් ගත්ත විතරයි රටේ අරගලයක් පටන් ගත්තා. මේවයින් වුනේ අපේ වටිනා කාලය හා ශ්‍රමය නිකරැණේ අපතේ ගිය එක විතරයි. ඒ නිසා මේ අර්බුදයෙන් රට ගොඩ ගන්න අපි එකතුවෙලා වැඩ කරන්න ඕන.

අපි දැන් අරගල කරන්න ඕන රටට ඩොලර් ගෙන්ව ගන්න, ආයෝජකයන් ගෙන්වා ගන්නයි. ඒ වගේම ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා ගන්න. ස්ථාවර ආණ්ඩුවක් නැත්නම් රටට ආයෝජකයන් එන්නෙ නැහැ. පාරවල් ගානේ බෝඩ් උස්සගෙන කෑ ගැහුවට සිස්ටම් චේන්ජ් කරන්න බැහැ. ආර්ථික අර්බුද විසඳන්න බැහැ. ජනතාව අමාරුවෙන් ඉන්න වෙලාවක අපි 225ටම එකට එකතුවෙලා ගමනක් ගියොත් මේ වලෙන් ගොඩට එන්න පුළුවන්. එහෙම නොවුනොත් එය ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්” යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

            

Leave a Reply

Your email address will not be published.