අපේකම රැකගත් ආර්ථිකයක් එදා අපේ රටේ තිබුණු බවද ‘ජාතියක් සහ පුද්ගලයෙක් වශයෙන් ණය බරින් නිදහස් විය යුතුයි‘ යන්න බුදු දහමටත් එකඟ බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (01) අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති කාර්යාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ඊයේ (01) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදීය.
විස්තීර්ණ ණය පහසුකමක් (EFF) ශ්‍රී ලංකාවට දීම සඳහා කාර්ය මණ්ඩල එකඟතාවකට පැමිණි බව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රාග්ධන වෙළෙඳපොළ අංශ ප්‍රධානි, පීටර් බෘවර් (Peter Breuer) මහතා මේ සාකච්ඡාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් ප්‍රකාශ කළේය. අමෙරිකන් ඩොලර් බිලියන 2.9ක මේ ණය පහසුකම මාස 48ක ගිවිසුමකට යටත්ව දීමට නියමිතය. ණය අර්බුදයෙන් රට මුදා ගැනීම හා සමානවම සියලු ජනතාවගේ ජීවන තත්ත්වය තවදුරටත් පහත නොවැටීමට අවශ්‍ය පියවර ගැනීම වැදගත් බවද ජනාධිපති වික්‍රමසිංහ මහතා පැවසීය.
එහිදී ජනාධිපතිවරයා මෙසේද කීවේය.
‘‘රට බංකොලොත් බවට ප්‍රකාශ කරපු පළමු අවස්ථාව මෙයයි. බංකොලොත් බවින් ගොඩඒම සහ ණය අර්බුදයෙන් රට මුදා ගැනීම වගේම, සියලු සමාජ කොටස්වල ආර්ථික හා සමාජ ජීවන රටාව තවදුරටත් පහත වැටීම වළක්වාලීම මධ්‍යකාලීනව වැදගත්. ආරම්භය අපහසු වේවි. එහෙත් ඒක ඉතා වැදගත් වගේම ඉදිරියට යෑමේදී අපට වර්ධනයක් ළඟා කර ගත හැකියි. අපේ රටේ ඉතිහාසයේ මේක වැදගත් පියවරක්. අපි කැප වෙන්නේ අපිට දී තිබෙන ඉලක්ක සපුරා ගැනීම සඳහා පමණක් නොවේ. අපි එම ඉලක්ක පසු කරගෙන ඉදිරියට යා යුතුයි. මම ජාතියෙන් ඉල්ලා සිටිනවා අපනයනය මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා අපි අපේ අදහස් වෙනස් කරගමු. එමඟින් සමාජ සුබසාධන වැඩකටයුතු පවත්වාගෙන යෑම වඩාත් පහසු වේවි.”
අපේකම රැකගත් ආර්ථිකයක් එදා අපේ රටේ තිබුණා. ‘ජාතියක් සහ පුද්ගලයෙක් වශයෙන් ණය බරින් නිදහස් විය යුතුයි‘ යන්න බුදු දහමටත් එකඟයි. දිවංගත අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ ප්‍රතිපත්තිය වූයේද එයයි. එය අනුගමනය කිරීමට එතුමා කැප වුණා.
සාර්ව ආර්ථික ස්ථාවරත්වය යළි ඇති කිරීම, ණය තිරසර බව ප්‍රතිස්ථාපනය, මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම, අවදානමට ලක්විය හැකි කණ්ඩායම ආරක්ෂා කිරීම සහ දූෂණය පිටුදැකීම සඳහා අවශ්‍ය ව්‍යූහාත්මක වෙනස්කම් කරා ගමන් කිරීම තුළින් ශ්‍රී ලංකාවට දියුණු විය හැකි අවස්ථාව ළඟා කර ගැනීම මේ ණය පහසුකමේ අරමුණ වේ.මූල්‍ය විනිවිදභාවය හා රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වැඩි දියුණු කිරීම තුළින් දූෂණය අවම කිරීම, රාජ්‍ය පාලනය ගැඹුරු ලෙස විනිශ්චය කරමින් ශක්තිමත් දූෂණ විරෝධී නීති රාමුවක් හඳුන්වා දීම, සමාජ සුබ සාධනය සඳහා වන වියදම් ඉහළ නැංවීම මඟින් දුප්පත් සහ අවදානමට ලක්වූ කණ්ඩායම් මත ඇතිව තිබෙන වත්මන් අර්බුදයේ බලපෑම අවම කිරීම, සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන්වල ආවරණය වැඩි දියුණු කිරීම සහ ප්‍රතිලාභීන් නිවැරදි ලෙස හඳුනා ගැනීම, රාජ්‍ය මූල්‍ය තත්ත්වය ස්ථාවර කිරීම සඳහා ආදායම් ඉහළ නැංවීම, පෞද්ගලික ආදායම් බදු වඩා වැඩි දියුණු කිරීම සඳහා ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම, ආයතනික ආදායම් බදු සහ වැට් බද්දට අදාළ පරාසය පුළුල් කිරීම, මේ බදු ප්‍රතිසංස්කරණ තුළින් 2024 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3ක ප්‍රාථමික අතිරික්තයක් කරා ළඟා වීම, රාජ්‍ය සතු ව්‍යවසායයෙහි වැඩි වන මූල්‍ය අවදානම අවම කිරීම සඳහා පිරිවැය ප්‍රතිපූර්ණය කළ හැකි මිල යන්ත්‍රණයක් ඉන්ධන සහ විදුලි බලය සඳහා හඳුන්වා දීම මෙහි අරමුණු අතර වේ.