විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ඩොලර් කෝටි 290ක ණයක්

ශ්‍රී ලංකාවට අමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9ක ණය මුදලක් විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය එකඟතාව පළ කරයි.

විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසුව ආර්ථික ගැළපීම් සහ ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තිවලට අනුකූලව මාස 48ක (අවුරුදු 4ක) කාලයක් සඳහා මේ අමෙරිකන් ඩොලර් බිලියන 2.9ක ණය මුදලට අදාළ විස්තීර්ණ පහසුකම සැපයීමට සඳහා ජාත්‍යන්තර අරමුදල එකඟත්වය පළ කර තිබේ.

ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ඇති කිරීමට සහ මූල්‍ය පරතරය පියවීම සඳහා ණය හිමියන්ගෙන් ණය සහන මෙන්ම බහුපාර්ශ්වික හවුල්කරුවන්ගෙන් අතිරේක මූල්‍ය පහසුකම් අවශ්‍ය වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානි පීටර් බෘවර් මහතා මහ බැංකු මූලස්ථානයේදී ඊයේ (01) දහවල් පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

ශ්‍රී ලංකාව විදේශයන්ට ගෙවිය යුතු ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීම සම්බන්ධයෙන් ණයකරුවන් හා ණය හිමියන් අතර, මේ දිනවල කරමින් පවතින එකඟතාවක් ඇති කර ගැනීමේ වැඩපිළිවෙළේ නම්‍යශීලීභාවය හා කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් තමන් අවදියෙන් සිටින බවද ඒ මහතා කීය.

ශ්‍රී ලංකාව මුහුණදී තිබෙන දැඩි ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා කළ යුතු ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීම සහ රාජ්‍ය අංශයේ කළ යුතු ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන ආකාරය පිළිබඳද තම අරමුදල උනන්දු‍වෙන් පසුවන බවද බෘවර් මහතා පැවසීය.

මීට මාස 4කට පෙර වොෂින්ටනයේදී මුණගැසුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (International Monetary Fund – IMF) නියෝජිතයන් සහ ශ්‍රී ලංකා නියෝජිතයන් අගෝස්තු 24 දා සිට පෙරේදා (31) දක්වා මෙරට රැඳී සිටිමින් තීරණාත්මක සාකච්ඡා වටයක් සාර්ථකව පැවැත්වූ බවත් ඉන් අනතුරුව ඊයේ (01) මාධ්‍ය හමුවක් පැවැත්වූ බවත් පීටර් බෘවර් මහතා මෙහිදී පැහැදිලි කළේය.

බදු ප්‍රතිසංස්කරණ, රාජ්‍ය මූල්‍ය අංශයේ කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීම, බදු මඟහැරවීම වළකාලීම, බදු ක්‍රමය සරල කිරීම ඇතුළු රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමේ මැදි හා දිගුකාලීන ඉලක්ක සහිතව ඉදිරි ගමනක් යෑමට ශ්‍රී ලංකාවේ බලධාරීන් ක්‍රියා කළ යුතුව ඇතැයි ද ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානි පෙන්වා දුන්නේය.

වසර 2023 අය වැයේ සිට රජයේ ආදායම වැඩි කර ගනිමින් රාජ්‍ය වියදම් තාර්කික කර ගනිමින් සාර්ව ආර්ථික ඉලක්ක ජය ගැනීමට ශ්‍රී ලංකා බලධාරීන් කටයුතු කළ යුතුයි. දේශපාලන ස්ථාවරත්වය, සමාජ ස්ථාවරත්වය හා ආරක්ෂා විය යුතු අතර, සහන අවැසි කණ්ඩායම්වලට සමාජ ආරක්ෂණ ජාලයක් ගොඩනැඟීම කෙරෙහි ද උනන්දු විය යුතු යැයි අරමුදලේ මෙහෙයුම් ප්‍රධානි මසහිරෝ නොසාකි මහතා කීය.

Leave a Reply

Your email address will not be published.