ශ්‍රී ලංකාව සුපිරි හතරට

සුපිරි හතර දෙනාගේ වටයට ශ්‍රී ලංකාව යනවාද? නැද්ද? යන්න අවසන් ඕවරයේ තීරණය වූ ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ බංග්ලාදේශයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 2ක තියුණු ජයක් හිමි වෙයි. වාසනාව හා දක්ෂතාව යන දෙකම දෙපැත්තට දෝලනය වූ මේ තරගයේ ප්‍රතිඵලය අනුව සුපිරි හතර දෙනාගේ වටයේ මුල්ම තරගයේදී ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය සාජා පිටියේදී හෙට (3) හමුවේ. බංග්ලාදේශයට එරෙහිව ඊයේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිඩා පිටියේ විදුලි ආලෝක ධාරා මැද පැවති තරගයෙන් සිංහයෝ වැටි වටී නැඟී සිටි අතර, නරඹන්නන්ගේ සිත් අවසන් මොහොත දක්වා පැහැර ගත්හ.

තරගයේ අවසන් ඕවරයේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලකුණු 8ක් අවශ්‍යව තිබූ අතර, පිතිකරණයට නොව පන්දු යැවීමට දක්ෂ වූ අසිත ප්‍රනාන්දු පෙරට පැමිණ රට වෙනුවෙන් තම යුතුකම සාර්ථක කළහ. එහිදී පන්දු 3කදී හතරේ 2ක් එල්ල කළ අසිත ප්‍රනාන්දු නොදැවී ලකුණු 10ක් රැස් කර ගත්තේය. ජයග්‍රහණයට තවත් ලකුණක් අවශ්‍යව තිබියදී මෙහෙදි හසන් නිපන්දුවක් යැවූ බවට විනිසුරු කළ සංඥාවෙන් ශ්‍රී ලංකා නාමය ඩුබායි පිටියේ ගිගුම් දෙන්නට විය. අවසන් මොහොතේ කාගේත් ආදරයට පාත්‍ර වූ අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ 97 වැනි විස්සයි20 ක්‍රීඩකයා ලෙස ඊයේ වරම් දිනා ගැනීම ද විශේෂත්වයකි.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව, මුලින් පන්දුවට පහරදීමට බංග්ලාදේශයට ආරාධනා කළ අතර, බංග්ලාදේශය ඕවර 20කදී කඩුලු 7කට ලකුණු 183ක් රැස් කළ අතර, ශ්‍රී ලංකාව ඕවර 19.2කදී කඩුලු 8කට ලකුණු 184ක් රැස් කරමින් ජය තහවුරු කර ගත්තේය.

විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් බිමේ කුසල් මෙන්ඩිස් සිය 7 වැනි අර්ධ ශතකය වාර්තා කළ අතර, බංග්ලාදේශ පන්දු යවන්නන්ට පහර පිට පහර එල්ල කරමින් ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය. එමෙන්ම නායක දසුන් ශානක පන්දු 33කදී හයේ 2ක් හා හතරේ 3ක් සමඟ රැස් කළ ලකුණු 45 මේ තරගයේ තවත් සංධිස්ථානයකි.

කුසල් පන්දු 37කදී හතරේ පහර 4ක් හා හයේ පහර 3ක් සමඟ ලකුණු 60ක් රැස් කර සිටියදී දැවී යෑමෙන් ශ්‍රී ලංකාව තරමක් ආපස්සට ඇදී ගියේය. ඔහු සමඟ එක්ව නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක දැවැන්ත හයේ පහරක් එල්ල කිරීමට ගොස් දැවී යෑම බලවත් පහරක් විය.

කුසල් මෙන්ඩිස් ලකුණු 29ක් ලබා සිටියදී කඩුලු රකින මුස්ෆිකර් රහීම් අතට උඩ පන්දුවක්දී ක්‍රීඩාගාරයට යද්දී විනිසුරුගේ ඉල්ලීම අනුව යළිත් අතරමඟ නැවතී සිටි අතර, මෙහිදි හසන් එවිට යවා තිබුනේ නිපන්දුවක් බැවින් කුසල්ට තව දුරටත් කඩුල්ලේ රැඳී සිටීමට වාසනාව උදා විණි. ෂකීබ් අල් හසන්ගේ පළමු ඕවරයට හොඳින් නෙලූ කුසල් මෙන්ඩිස් එම ඕවරයේදී හයේ 2ක් හා හතරේ පහරක් පිට පිට එල්ල කිරීමෙන් ලකුණු රැස් කිරීමේ වේගය ඉහළට පැමිණියේය.

ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ලකුණු 20ක් ලබා සිටියදී එබඩොට් හොසෙන්ගේ පන්දුවකට අනවශ්‍ය පහරක් එල්ල කිරීමට ගොස් දැවී ගිය අතර එවිට ඔහු ලබා සිටියේ ලකුණු 20කි. උප නායක චරිත් අසලංකගේ ‘ඕෆ් සයිඩ්‘ එක පැත්තේ යාර 30 සීමාව ඇතුළත පන්දු රකින්නන් 5ක් යොදවා තිබියදී උඩු ගුවනේ පහරක් එල්ල කිරීම වෘත්තීය ක්‍රීඩකයකුට නොගැළපෙන දෙයකි. අසලංක ඒ පහරින් එබඩොට් හොසෙන්ගේ පන්දුවකට ‘මිඩ් ඕන්‘ වෙත උඩ පන්දුවක් දී ලකුණු 1කට ක්‍රීඩාගාරයට ගියේය.

ධනුෂ්ක ගුණතිලක වැඩි වේලාවක් කඩුල්ලේ නොසිට ලකුණු 11කට හා භානුක රාජපක්ෂ එබඩොට් හොසේන්ගේ ඉහළ නැඟි පන්දුවට කඩුලු රකින්නාගේ හිසට ඉහළින් ස්ථානගත කිරීමේදී ‘තර්ඩ් මෑන්හි’ සිටි ටස්කින් අහමඩ් වෙත උඩ පන්දුවක් දී ලකුණු 2කට දැවී ගියහ.

බංග්ලාදේශයේ මැද පෙළ පිතිකරුවන් වූ අෆීෆ්, මොසඩක් හා මොහොමදුල්ලා අවසන් පන්දු 30කදී ලකුණු 60ක් ලබා ගැනීමට සමත් වීම මේ තරගයේ ශ්‍රී ලංකාවට එල්ල වූ ප්‍රබල පීඩනයකි. බංග්ලාදේශය මුහුණ දුන් අසිත ප්‍රනාන්දු යැවූ අවසන් ඕවරයේ ලකුණු 20ක් ලබාගත් අතර, පන්දු 9කදී මොසඩක් හොසේන් නොදැවී ලකුණු 24ක් හා ටස්කින් අහමඩ් පන්දු 6කදී නොදැවී ලකුණු 11ක් ලබා සිටියහ.

මෙයට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා විස්සයි 20 නායක දසුන් ශානකගේ ප්‍රකාශයකට පැටලී ‘පිටියේදී බලාගමු‘ යනුවෙන් මතභේදාත්මක පිළිතුරක් දුන් මෙහිදි හසන් මිරාස් පිත්තෙන් ප්‍රහාර එල්ල කොට බංග්ලාදේශ ඉනිම ඔසවා තැබීමට ප්‍රබල වෙහෙසක් ගත් අතර, වනිඳු හසරංග තමන්ගේ මුල්ම ඕවරයේදීම හසන් මෙල්ල කර ගත්තේය. ඔහු පන්දු 26කදී හයේ දෙකක් හා හතරේ 2ක් සමඟ ලකුණු 38ක් ලබා සිටියදී හසරංගගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් බලාපොරොත්තු සුන්වී ගියේය. හසරංග, තරමක් උඩින් එල්ල කරන ලද ගුග්ලි පන්දුවකට මිරාස් ස්වීප් පහරක් එල්ල කිරීමට පිතිකරුගේ රේඛාව හරහා පිත්ත ගෙනයද්දී ඉලක්කය වැරදීමෙන් ඉරණම විසඳුණි.

අනතුරුව පිටියට පැමිණි මුෂ්ෆිකර් රහීම් ලකුණු 4කට දවා ගැනීමට චාමික කරුණාරත්න සමත්වූ අතර පන්දු 22කදී හතරේ 3ක් සමඟ ලකුණු 24ක් ලබාසිටි ශකීබ් අල් හසන්ගේ කඩුල්ල කෙළින්ම බිඳ හෙළීමට මහේෂ් තීක්ෂණ සමත් විය. මොහොමදුල්ලා සමඟ එක්ව 5 වැනි කඩුල්ලට පන්දු 37කදී ලකුණු 57ක සම්බන්ධතාවක් ගොඩනඟමින් සිටි අෆීෆ් හොසේන් දවා ගැනීමට වේග පන්දු යැවූ දිල්ෂාන් මධුසංඛ සමත් වූ අතර, එය ශ්‍රී ලංකාව ලැබූ විශාල ආස්වාදයකි. හොසේන් පන්දු 22කදී හයේ හා හතරේ පහර බැගින් එල්ල කොට ලකුණු 39ක් ලබා සිටියදී චාමිකගේ පන්දුවකට ‘ඩීප් මිඩ්විකට්හි’ සිටි වනිඳු හසරංග වෙත පහසු උඩ පන්දුවක් දී දැවී ගියේය.

තරගයේ වීරයා සම්මානය කුසල් මෙන්ඩිස්ට හිමි විය.

Leave a Reply

Your email address will not be published.