ශ්‍රීලනිප ව්‍යවස්ථා සංශෝධනය සම්මතයි – මෛත්‍රීපාල සිරිසේන

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 71 වන සංවත්සර සැමරුම පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී අද (02) පැවැත්වුණි.

සැමරුම් උත්සවය ආරම්භ කිරීමට පෙර පැවැත්වුණේ පක්ෂයේ සමස්ත ලංකා කාරක සභා රැස්වීමය.

පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පක්ෂයේ නව ව්‍යවස්ථා සංශෝධන යෝජනා එහිදී සභාවට ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර,

“පක්ෂ සභාපතිගේ අභිමතය පරිදි ව්‍යවස්ථාවේ දැක්වෙන තනතුරු සඳහා නිලධාරීන් ඉවත්කිරීමේ බලය සභාපතිට පවතී.” 

“පක්ෂ ව්‍යවස්ථාවේ අන් කවර තැනක කුමක් සඳහන් වුණත් සාමාජිකයෙක්, මන්ත්‍රීවරයෙක් ව්‍යවස්ථාවට පටහැනි වුණොත්, වෙනත් පක්ෂයකට සහාය දුන්නොත්, පක්ෂ නායකයාගේ උපදෙස් පිළිනොගතහොත්, විනය විරෝධී ක්‍රියාවක් කරන බවට සභාපතිට දැනුනොත්, පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට හෝ නෙරපීමට දේශපාලන මණ්ඩලයට බලය තියෙනවා.”

අනතුරුව පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා නව ව්‍යවස්ථා සංශෝධන යෝජනා සම්බන්ධයෙන් සමස්ත ලංකා කාරක සභාවේ කැමැත්ත විමසීය.

එහිදී, නව ව්‍යවස්ථා සංශෝධනයට ඊයේ (01) විරුද්ධත්වය ප්‍රකාශ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් අද ඊට විරුද්ධත්වය පළ නොකිරීම විශේෂත්වයකි.

මෛත්‍රීපාල සිරිසේන මහතා,

“විරුද්ධ අය ඉන්නවා නම් අත උස්සන්න. එහෙම නම් විරුද්ධව එක ඡන්දයක්වත් නැතුව විනය පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව සම්මතයි කියන එක සියලුදෙනාටම ප්‍රකාශ කරනවා.”

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පක්ෂ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වී තිබුණේ ඊයේ (01) පස්වරුය.

එහිදී පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ඉදිරිපත් වූ යෝජනාව ඒකමතිකව සම්මත වුවත් ව්‍යවස්ථාව සංශෝධනය සඳහා  පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ වැඩි පිරිසක් විරුද්ධ වූ බව මන්ත්‍රිවරුන් පවසා තිබුණි.

Leave a Reply

Your email address will not be published.