ප්‍රදේශ කිහිපයකට තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටන් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව පළාතේ සහ මහනුවර, නුවරඑළිය සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

මේ අතර, දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතී. 

ඒ අනුව, අද (04) දින දහවල් 12:09 ට තලාහේන, පින්දෙණිය, අරුක්වත්ත, කරගහවෙල සහ කිවුලගම යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.

Leave a Reply

Your email address will not be published.