IMF ප්‍රධානියාගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තීන් සඳහා සහාය දැක්වීම වෙනුවෙන් කාර්යය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීමට හැකිවීම පිළිබඳ සතුට පළ කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිඒවා මහත්මිය පවසන්නීය.

එය ශ්‍රී ලංකාවට වැදගත් ඉදිරි පියවරක් වනු ඇති බව ඇය ට්විටර් සඳහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව කාර්යය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පසුගියදා එළඹුණු අතර මාස 48ක වැඩපිළිවෙළක් යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකමක් ශ්‍රී ලංකාවට ලබාදීමට යෝජනා කෙරුණි.

මේ අතර විදෙස් ණය ගැනීම, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම නිසි සැලසුමකට අනුව සිදුකිරීම හේතුවෙන් බංග්ලාදේශය කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකාව පත්ව ඇති ආකාරයේ අර්බුදයකට මුහුණ නොදෙන බව බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා මහත්මිය යළි අවධාරණය කර තිබේ.

ඉන්දීය ඒ.එන්.අයි පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය සඳහන් කර ඇත්තේ, ජනතාවට ප්‍රතිලාභ නොලැබෙන කිසිදු ව්‍යාපෘතියක් සඳහා සිය රජය මුදල් වැය නොකරන බවය.

ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති හරහා ප්‍රතිලාභය ලැබෙන බවට තහවුරු වීමකින් තොරව බංග්ලාදේශය කිසිදු ණයක් නොගත් බව ඇය සඳහන් කර තිබේ.

එමෙන්ම සියලු ණය වාරික නියමිත වේලාවට ගෙවීමට තම රජය පියවර ගෙන ඇති බව පෙන්වාදෙන බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය එම තත්ත්වය තුළ බංග්ලාදේශයේ ණය අනුපාතය ඉතා අඩු වී ඇති බව ප්‍රකාශ කර ඇත.

කොවිඩ් වසංගතය, යුක්‍රේන යුද්ධය ඇතුළු ගෝලීය අර්බුදවලට මුහුණ දීමට බංග්ලාදේශයට ද සිදුවුවත් නිසි සැලසුමකට අනුව ආර්ථිකය මෙහෙයවීම හේතුවෙන් ශ්‍රී ලංකාව පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයට තම රට කිසිදු දිනක පත්නොවන බව බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා මහත්මිය වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published.