පාඨලීගේ නඩුවේ වැඩිදුර විභාගය කල්යයි

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය ඔක්තෝබර් මස 10 වන දා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතව තිබුණි.

එහිදී විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට අද දින පාර්ලිමේන්තු විවාදයට සහභාගී වීමට නියමිතව තිබෙන හෙයින් එම නඩු විභාගය වෙනත් දිනයකට කල් තබන මෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා විරෝධය පළ නොකළේය.

එහෙත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ එම නඩුවේ විභාගය දැනටමත් අවස්ථා කිහිපයක දී කල් ගොස් තිබෙන බැවින් නඩු විභාගය සඳහා කෙටි දිනයක් නියම කරන ලෙසය.

එහි දී විවෘත අධිකරණයේ අදහස් දැක්වූ විනිසුරු දමිත් තොටවත්ත මහතා නඩුවක් ආරම්භ කළ විට එය කඩිනමින් අවසන් කිරීම තම අධිකරණයේ ප්‍රතිපත්තිය බව කියා සිටියේය.

තමන්ට සියලු නඩු එක හා සමාන බවත් එම නඩුව තමන්ට විශේෂ නඩුවක් නොවන බවත් විනිසුරුවරයා පැවසුවේය.

තම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන්නේ නම්   තමන්ව මාරු කර හැරීමට අගවිනිසුරුවරයාට හැකියාව තිබෙන බවත් සඳහන් කළ විනිසුරු දමිත් තොටවත්ත මහතා දෙපාර්ශවයට එකඟ විය හැකි ආසන්න දිනයක් නඩු විභාගය සඳහා ලබාදෙන ලෙසත් විත්තියේ හා පැමිණිල්ලේ නීතිඥවරුන්ගෙන් ඉල්ලා සිටියා.

ඉන්පසුව දෙපාර්ශවයේ එකඟත්වය මත එම නඩුවේ වැඩිදුර විභාගය ඔක්තෝබර් මස 10 වනදා සහ 27 වනදා පැවැත්වීමට දින නියම කළ විනිසුරුවරයා එදින සාක්ෂිකරුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් අවවාද කළේය.

එම නඩුව අද කැඳවූ අවස්ථාවේ දී එහි සෙසු විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු ඇමැති පාඨලී චම්පික රණවකගේ රියැදුරු වන දිනුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලීසියේ හිටපු ස්ථානාධිපති හා වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියේය.

2016 වසරේ පෙබරවාරි මස 28 වනදා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් පැදවූ ජිප් රථයක් මගින් සංදීප් සම්පත් නමැති තරුණයකුට බරපතළ රිය අනතුරකට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්  බොරු සාක්ෂි සෑදීම, සාක්ෂි අතුරුදන් කිරීම සහ රිය අනතුරක් සිදුකළ පාඨලී චම්පික රණවක නමැති සැකකරු නීතියානුකූල දඬුවමින් ආරක්ෂා කිරීම සඳහා මහෙස්ත්‍රාත් අධිකරණය වෙත වැරදි වාර්තා ඉදිරිපත් කිරීම ඇතුළු අධිචෝදනා 1‍6ක් යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන තිදෙනාට එරෙහිව  නීතිපතිවරයා විසින් එම නඩුව ගොනුකර තිබේ.

Leave a Reply

Your email address will not be published.