මෝල්කාවේ චමියා අත්අඩංගුවට

යතුරුපැදි දෙකක් හා පාපැදි හයක් ඇතුළු ලක්ෂ 20ක දේපළ සොරාගත් “මෝල්කාවේ චමියා” අත්අඩංගුවට අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු විසින් බුලත්සිංහල පොලිස් වසම තුළ සොරකම් රැසක් සිදුකර ඇති බව බුලත්සිංහල පොලීසිය පවසයි.

සැකකරු සතුව තිබී සොරා ගෙන තිබූ යතුරුපැදි 2ක්, පාපැදි 6ක්, වතුර මෝටරයක්, ගෘහස්ථ ගෑස් සිලින්ඩර 2ක්, වායු පීඩන යන්ත්‍රයක්, වාහන බැටරියක් හා රබර් ෂීට් තොගයක් පොලීසිය භාරයට ගෙන ඇත.
 


එම සැකකරු‍ දැඩිව හෙරොයින් මත්කුඩු පානයට ඇබ්බැහිව සිටින අයෙකු බවත් ඔහු රාත්‍රී කාලයේ දී සැකකටයුතු අයුරින් සැරිසරන බවට ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්නකිරීමේ දී බුලත්සිංහල පොලිස් වසම තුළ පාපැදි සහ යතුරුපැදි සොරකම් අටක් ඇතුළු සොරකම් දාහතරකට සම්බන්ධ බවට අනාවරණය වූ බව පොලීසිය පැවසීය.

සොරාගත් සියලුම දේපළ බුලත්සිංහල, බදුරලිය ආදී ප්‍රදේශවල පුද්ගලයන්ට ඉතා අඩු මුදලට විකුණා ඇති අතර එයින් ලබාගත් මුදල්වලින් හෙරොයින් මත්කුඩු පානය කිරීමට අමතරව සූදූ ක්‍රීඩාවේ නිරත වී ඇති බවට වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරු මෝල්කාව පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු කළුතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් බුලත්සිංහල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

.

Leave a Reply

Your email address will not be published.