විදෙස් රටවලින් ලද තෑගි විකුණූ බවට චෝදනාවක්

ඉම්රාන් ඛාන් පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ධූරය දරන කාලසීමාව තුළ විදෙස් රටවලින් ලද ත්‍යාග මුදලට අලෙවි කර ඇති බවට චෝදනාවක් එල්ලවී තිබේ.

පාකිස්තාන නීතියට අනුව එරට රාජ්‍ය නායකයෙකුට විදෙස් රාජ්‍යයකින්, විදෙස් රාජ්‍ය නායකයෙකුගෙන් හෝ ප්‍රභූවරයෙකුගෙන් ත්‍යාග ලෙස හිමිවන කිසිදු දෙයක් සිය පෞද්ගලික පරිභෝජනය සඳහා රැගෙනයා නොහැකිය.

එලෙස ලැබෙන ත්‍යාග රාජ්‍ය තැන්පතුවක හෝ ඒ සඳහාම වෙන්වූ වෙනත් රාජ්‍ය දෙපාර්තමේන්තුවක තැන්පත් කළ යුතුය.

අදාළ රාජ්‍ය නායකයාට යම් ත්‍යාගයක් සිය භාරයේ තබාගැනීමට අවශ්‍ය නම් එම ත්‍යාගයට වෙන්දේසියකදී මිලක් නියමකර ඊට සමාන මුදලක් රජයට ගෙවිය යුතුය.

කෙසේවෙතත් ඉම්රාන් ඛාන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනාව වන්නේ ඔහු එලෙස සිය ධූර කාලයේදී ලද ත්‍යාග අලෙවිකර ඇති බව හා ඇතැම් තෑගි පෞද්ගලික පරිහරණය සඳහා රැගෙන ගොස් ඇති බවටය.

එලෙස ඉම්රාන් ඛාන් අලෙවිකර ඇති බවට පැවසෙන ත්‍යාග අතර ඔහුට හිමිවූ ලොව ප්‍රකට වෙළෙඳ සන්නාමයන්ගෙන් යුත් අත්ඔරලෝසුවක්, පෑනක් හා මුද්දක් ද ඇතුළත්ය.

ඒවා අලෙවිකර ඉම්රාන් ඛාන් පාකිස්තාන රුපියල් මිලියන 58ක පමණ මුදලක් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වෙයි.

එහිදී ඔහු රාජ්‍ය භාණ්ඩාගාරයට ගෙවා ඇත්තේ රුපියල් මිලියන 21ක පමණ මුදලක් බවත් අනාවරණ වී තිබේ.

චෝදනාවන්ට අනුව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන විට 2018 වසරේ ජූලි මස සිට 2019 ජුනි මස දක්වා කාලය තුළ ඉම්රාන් ඛාන්ට ත්‍යාග 31ක් හිමිවී තිබේ.

ඒවා අතරින් ත්‍යාග 4කට පමණක් ඔහු එරට නීතිය යටතේ මුදල් ගෙවා ඇති බවට වාර්තා වෙයි.

නමුත් ඉම්රාන් ඛාන් ත්‍යාග රැසක් රැගෙන ගොස් ඇත්තේ භාණ්ඩාගාරයට කිසිදු මුදලක් ගෙවීමකින් තොරව බවද පාකිස්තාන මැතිවරණ කොමිසමට ඉදිරිපත්වී ඇති පැමිණිලිවල දැක්වෙයි.

Leave a Reply

Your email address will not be published.