ව්‍යසනයක් ගැන විදුලි බල හා බලශක්ති ඇමති අනතුරු අඟවයි

ක්‍රියාත්මක කරනු ලැබූ ටෙන්ඩර් පටිපාටියට අනුකූලව ගල් අඟුරු ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් රටේ නැවත වතාවක් අවිනිශ්චිතතාවයක් ඇතිවිය හැකි බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ටෙන්ඩර් ක්‍රමවේදය හරහා ගල් අඟුරු සැපයීමට එකඟව සිටි සමාගම ඒ සඳහා ඉදිරිපත් වීමට මේ වනවිට මැලිකමක් දක්වන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා.

උපුටා ගැනීම

“ගල් අඟුරු ප්‍රසම්පාදනයේදී ඉන්නවා ලියාපදිංචි සැපයුම්කරුවන්. මොකද හැම එක්කෙනාටම ගල් අඟුරු දෙන්න බෑ. ලියාපදිංචි සැපයුම්කරුවෝ ලෝකේ විවිධ රටවලට ඉන්නවා. අපේ රටට දීපු කට්ටිය ඉන්නවා. ඒ කට්ටියට තමයි මේ ප්‍රසම්පාදනයේදී ටෙන්ඩර් ලියකියවිලි යවන්නේ. එතකොට මේ ටෙන්ඩර් ලියකියවිල්ල. සැපයුම්කරුවන්ට මේකට ඇනවුම් කිරීම සඳහා ආරාධනා කරනවා ජුලි 21 වනදා. ජුලි මාසයේ 28 වනදා මූලික සාකච්ඡාවක් තියෙනවා ඒ සැපයුම්කරුවන් එක්ක. ඊළඟට අගෝස්තු මාසයේ 10 වෙනිදා තමයි මේ ටෙන්ඩර් එක වහන්නේ. එතකොට මේ ටෙන්ඩර් එකට ඉදිරිපත් වනවා සමාගම් දෙකක්. තාක්ෂණික කමිටුව ඇගයීම් කරනවා ඒ ඉදිරිපත් වෙච්ච යෝජනාවලි දෙක. ඊට අමතරව මේක යන අතරතුරේ තවත් සමාගම් 5ක් ඉදිරිපත් වෙනවා ටෙන්ඩර් එකට ඉදිරිපත් වෙන්නේ නැතුව. මෙන්න මේ ගානට අපිට දෙන්න පුළුවන් කියලා ඒ සමාගම් ඉදිරිපත් වෙනවා. එතකොට අපි කියනවා කැබිනට් මණ්ඩලයටත් මේක දැනුවත් කරලා හදිසියේ හරි ටෙන්ඩරයට ඉදිරිපත් වුණේ නැත්නම් මේ ඉදිරිපත් වෙච්ච ප්‍රපෝසල් ටිකත් තාක්ෂණික කමිටුවට අපි ඉදිරිපත් කරන්න, බැරිවෙලාවත් හරි ටෙන්ඩරයේ කවුරුවත් හිටියේ නැත්නම් අන්න අරවා අතරින් සුදුසුම එක තෝරාගන්න. මොකද අපිට ඔක්තෝබර් වෙනකොට මේකට අවශ්‍ය ගල් අඟුරු ටික ආනයනය කරන්න ඕන. අපිට තාක්ෂණික කමිටුව කියනවා සමාගම් දෙකක්. ඉදිරිපත් වෙච්ච සමාගම් දෙකෙන් එක සමාගමක් ලංසුව කියන්නේ නෑ. දෙවැනි සමාගම ඩොලර් 328කට. විවිධ ඉන්ඩෙස්ක් තියෙනවා, මේ සියලුම ඉන්ඩෙස්ක් වල සාමාන්‍ය අගයක් ගත්ත සංයුක්ත දර්ශකයක් භාවිත කරන්න කියලා තියෙන්නේ, අර පිටින් ඉදිරිපත් කරපු සමාගමක් කියනවා ඩොලර් 554ක මිලක්.ඊළඟට ටෙන්ඩර් එක වහනවා. ටෙන්ඩර් එක වැහුවට පස්සේ අගෝස්තු මාසයේ 12 වෙනිදා එම සමාගම නැවත වතාවක් ටෙන්ඩර් එකක් ඉදිරිපත් කරලා කියනවා දැන් අපිට 290ට 295ට දෙන්න පුළුවන් කියලා. සැපයුම්කරුවා ටෙන්ඩර් එකේ දාපු ගැන බලලා දවස් දෙකකට පස්සේ දැන් මෙහෙම කියනවා. මට සැකයක් ඇතිවෙනවා. ගල් අඟුරු ප්‍රසම්පාදනය ලේසි දෙයක් නෙවෙයි. එතකොට ගල් අඟුරු තොගය කොහෙන් හරි අරගෙන තියෙන්න ඕන එක්කෝ ගල් අඟුරු සමාගමක් තියෙන්න ඕන. එතකොට මට දැන් හිතෙන දේ තමයි. ගල් අඟුරු තොගයක් අරගෙන තිබුනා. ඒ තොගය අපේ ඇඟේ ගහන්න හැදුවා ඩොලර් 528ට. “

“කණගාටුව තමයි ගරු මන්ත්‍රීතුමියනි අපි ඉතාමත්ම අමාරු වෙලාවක, මූල්‍ය අර්බුදයක වැටිලා ඉන්න වෙලාවක. අපේ විදුලි බල ජනනය සඳහා ගල් අඟුරු නැති වෙලාවක මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය දෙකම එකඟ වෙලා මාස හයකට පසු පොලී රහිත ගෙවීමේ ක්‍රමයකට මේ සමාගම්වලින් එහෙම ඉදිරිපත්වෙලා තියෙනකොට බය කරලා අසත්‍ය ප්‍රචාර කරාට පස්සේ දැන් ඒ සමාගම් කතාකරලා කියනවා ලංකාවේ මේ වගේ අපිට නඩු කටයුතුවලට කාලය වැයකරන්න සිද්ධවෙනවා නම් අපිට විශ්වාසයක් නැහැ. අපි සැපයුම් කරාට පස්සේ නඩු කටයුත්ත දිගට ගියාට පස්සේ අපිට මුදල් ලබෙයි මාස 6කින් පස්සේ කියන එක. “

“මම දන්නේ නෑ අද දවසේ මොන තත්ත්වයක් ඇතිවෙයිද කියලා අද දවස තමයි අවසාන දවස performance bond එක ඉදිරිපත් කරන්න තියෙන්නේ බැංකුවට. මම මේ මොහොතේත් බැලුවා. මට ගල් අඟුරු සමාගමේ සභාපතිතුමා කිව්වා ඔවුන් මැලිකමක් දක්වනවා මේ කටයුත්ත කරන්න නීතිමය කටයුත්තක් තියෙන නිසා කියලා.”

“ගල් අඟුරු නැතුව ඉන්න බෑ අපිට මාස 6ක් 7ක්, ඔක්තෝබර් 15 වෙනිදා වෙනකල් විතරයි බලාගාරවලට දැන් තියෙන ගල් අඟුරු ටික තියෙන්නේ, ඊළඟ ප්‍රසම්පාදන කටයුතුවලට ගියේ නැත්නම් අපිට ගැටලුවකට මුහුණදෙන්න සිද්ධවෙනවා, මම ඔබතුමියගෙන් ඉල්ලීමක් කරනවා කථානායකතුමාව දැනුවත් කරලා. මේක රටේ ව්‍යසනයක් ඇතිවිය හැකි තත්ත්වයක්, ගල් අඟුරු රටේ නෑ කියන්නේ නැවත වතාවක් විදුලි කප්පාදුව පැය 7ක 8ක කාලයක් සිදුකරන්න වෙයි කියන්නේ රටේ නැවත වතාවක් අවිනිශ්චිතතාවයක් ඇතිකරන ස්වභාවයක්.”.

Leave a Reply

Your email address will not be published.