පෑලියගොඩ වෙළඳ කුටි වෙළඳාමට සුදුසු ලෙස නවීකරණයට උපදෙස්, අනවසරයෙන් රැඳී සිටින්නන් ඉවත් කිරීමටත් පියවර

පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ වෙළඳ කුටි වෙළඳාමට සුදුසු ලෙස ඉඩ පහසුකම් සහිතව කෙටි කාලයක් තුළ නවීකරණය කරන ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා එම අධිකාරියේ ව්‍යාපෘති අංශයට අද (9) උපදෙස් දුන්නේය.

එම නවීකරණ කිරීමේ කටයුතු අවම වියදමකින් සිදුකරන ලෙසද සභාපතිවරයා මෙහිදී පැවසීය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් සභාපතිවරයා අද (9) මේ බව සඳහන් කළේය.

පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ සියලුම වෙළඳසැල් වෙත ගිය සභාපතිවරයා වෙළඳුන් සමඟ සුහද කතාබහක නිරතවෙමින් ඔවුන් මුහුණදෙන ගැටළු පිළිබඳව විමසීය.

එහිදී වෙළඳුන් පැවසුවේ තමන්ට ලැබී ඇති වෙළඳසැල් කුඩා බැවින් ඒවයේ වෙළඳාම් කිරීම අසීරු බවය. එබැවින් වෙළඳාම් කිරීමට පහසු ආකාරයට වෙළඳකුටි සකස්කර දෙන ලෙස ඔවුහු සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.

එමෙන්ම වෙළඳසැල් ආවරණය කරමින් බැඳ ඇති කෙටි තාප්ප හේතුවෙන් වෙළඳාම් කිරීමට අපහසු බවත්, එම ආවරණ හේතුවෙන් පාරිභෝගික ආකර්ෂණය අඩුවී ඇති බවත් එහිදී වෙළඳුන් සභාපතිවරයා දැනුවත් කළහ.

මෙහිදී නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා නිළධාරීන්ට උපදෙස් දුන්නේ වෙළඳ සංකීර්ණයේ දෛනිකව එකතුවන කැළි කසල නිසි පරිදි බැහැර කිරීමට සුදුසු ක්‍රමවේදයක් සකස්කර පාරිභෝගිකයන්ට ප්‍රියමනාප ස්ථානයක් බවට පත්කරන ලෙසයි.

එමෙන්ම රාත්‍රී කාලයේදී වෙළඳ සංකීර්ණයේ අනවසරයෙන් රැඳී සිටින්නන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසද සභාපතිවරයා ආරක්ෂක අංශයට උපදෙස් දුන්නේය.

මහල් හතරකින් සමන්විත පැලියගොඩ මැනිං වෙළද සංකීර්ණයේ 03 වෙනි මහල දක්වා පිහිටි සෑම වෙළඳසැලකටම එළවළු ප්‍රවාහන ලොරි ගෙන ඒමට හැකිවන සේ සකසා ඇත. එමෙන්ම සේවක විවේකාගාර, ආපනශාලා, අධිශීත ගබඩා පහසුකම්, රථවාහන 600 පමණ නවතා තැබිය හැකි රථගාලක් ඇතුළු පහසුකම් රාශියකින් සමන්විතවේ.

පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණය අක්කර 13.5 ක් පුරා විහිදෙන අංග සම්පූර්ණ තොග වෙළඳ සංකීර්ණයකි. මේ සඳහා වැය වු මුළු මුදල රුපියල් බිලියන 6.5 කි.

මෙම වෙළඳ සංකීර්ණය වෙළඳසැල් 1169 කින් සමන්විතවේ. වෙළඳසැල් ලබාදීමේදී පිටකොටුව මැනිං වෙළඳපො‍ලේ වෙළඳාම් කළ වෙළඳුන්ට ප්‍රමුඛතාවය ලබාදෙන අතර පෑලියගොඩ සහ වත්තල ප්‍රදේශයේ වෙළඳුන්ටද අවශ්‍යතාවය මත වෙළඳ සැල් ලබා‍දීම සිදුවේ.

වෙළඳසැල් ලබාදීමේදී නාගරික සංවර්ධන අධිකාරියේ අභියාචනා කමිටුවක් මගින් වෙළඳුන් සම්මුඛ පරීක්ෂණයකට ලක්කරනු ලැබේ. නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ව්‍යාපෘති කළමණාකරණ) එන්.ඒ.එස්.එන් නිශ්ශංක, වත්කම් කළමණාකරණ හා අයකරගැනීම් අංශයේ අධ්‍යක්ෂ මංගල සුමනසිරි, පහසුකම්  කළමණාකරණ අංශයේ අධ්‍යක්ෂ කේ.ඒ අබේරත්න, ව්‍යාපෘති කළමණාකරණ අංශයේ අධ්‍යක්ෂ තුෂාරි තිලකරත්න යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට සහභාගී විය.

Leave a Reply

Your email address will not be published.