ආසියානු කුසලානයෙන් පසු දසුන්ගේ මීළඟ බලාපොරොත්තුව

එළැඹෙන ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීම තම මීළඟ බලාපොරොත්තුව බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක පවසයි.

වසර 8කට පසු හයවන වරටත් ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව ජයග්‍රහණය කිරීමට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11) සමත් වුණි.

ඒ ඩුබායි ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේ දී පාකිස්තාන කණ්ඩායම ලකුණු 23කින් පරාජයට පත් කරමිනි.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීම තරග ජයග්‍රහණයට තීරණාත්මක සාධකය බවට ක්‍රිකට් විචාරකයින් මත පළ කර තිබු පසුබිමක කාසියේ වාසිය දිනු පාකිස්ථාන කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවක් දවාගැනීමට පාකිස්තාන වේගපන්දු යවන්නන් සමත් වුවද නියමිත පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 170ක් ලබාගැනීමට සමත් වුණි.

එහිදි විශිෂ්ට පිති හරඹයක නිරත වු භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 71ක් ලබාගැනීමට සමත් වු අතර ඔහුට නොමද සහයක් ලබාදුන් වනිඳු හසරංග වේගවත් ලකුණු 36ක් රැස්කළේය.

මුල් පෙළ ශක්තිමත් කරමින් ධනංජය ද සිල්වා ලකුණු 28ක් ලබාගත් අතර ඊට හතරේ පහර 4ක් එල්ල කර තිබුණි.

පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරනු ඇති බවට ජාත්‍යන්තර සමීක්ෂණ වාර්තා පවා පෙන්වාදී තිබු පසුබිමක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 147ක් පමණය.

එහිදි නවක වේගපන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් ලකුණු 34කට කඩුලු 4ක් දවාගැනීමට සමත් වු අතර චාමික කරුණාරත්න කඩුලු 2ක් දවාගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල බලපොරොත්තුව වන වනිඳු හසරංග ඔහු යොමුකළ සිව්වන පන්දුවාරයේ දි කඩුලු තුනක් දවාගැනීමට සමත් වු අතර ඒ වන විට ඔහු ප්‍රතිවාදීන්ට ලබාදී තිබුණේ ලකුණු 27ක් පමණය.

කෙසේවෙතත් පාකිස්තාන ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වු ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් ලකුණු 55ක් ලබාගත් අතර ඉෆ්තිකාර් අහමඩ් ඔහුට අනගි සහයක් ලබාදෙමින් ලකුණු 32ක් ලබාගත්තේය.

ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම ඉහළ මට්ටමක පැවතියේය. එය ක්‍රීඩා විචාරකයිගේ ද දැඩි අවදානයට සහ පැසසුමට ලක්වුණි. 

මේ අතර අවසන් මහා තරගයේ වීරයා ලෙස භානුක රාජපක්ෂ සම්මාන හිමිකර ගත් අතර තරගාවලියේ වීරයා ලෙස වනිඳු හසරංග සම්මාන හිමිකර ගත්තේය.

මීට පෙර අවස්ථා 5කදී ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානය ජයග්‍රහණය කර තිබේ.

1986, 1997, 2004, 2008 සහ 2014 යන වසරවලදී ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානය හිමිකරගෙන ඇති අතර මෙවර කුසලානය හිමිකර ගැනීමට හැකිවුයේ වසර 8කට පසුව වීමද විශේෂත්වයකි.

ජයග්‍රහණයෙන් පසුව අදහස් දැක්වු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල පිතිකරු භානුක රාජපක්ෂ, 

“ඇත්තටම අද හරිම සතුටු දවසක්. මොකද අපි හුඟාක් කල් බලන් හිටියා ෆයිනල් එකක් ඇවිල්ලා මේ වගේ සෙල්ලම් කරන්න. අපිට සහාය දුන්න සෑම ප්‍රේක්ෂකයෙක්ම… අපි දන්නවා ඩුබායි ඇවිල්ලා අපිට තිබුණ සපෝට් එක හුඟාක් තිබ්බා. මම හිතනවා ඉස්සරහටත් මේ වගේ තියෙයි කියලා. අපි හොඳට කරන්නේ නැති කාලෙක. ඒ කාලේ ඉඳලා ගොඩක් සපෝටර්ස්ලා හිටියා. මම හිතනවා අපිට වගේම ඒ අයටත් හුඟාක් ප්‍රීතිජනක දවසක්. මේ වගේ සෙල්ලම් කරන්න තමා අපේ එකම බලාපොරොත්තුව.”

කණ්ඩායමේ ජයග්‍රහණය පිළිබඳ අදහස් දැක්වු නායක, දසුන් ශානක,

“ලෝක කුසලානේ තියෙන්නේ වෙනම කන්ඩිෂන්වල. ඒ කන්ඩිෂන්වලට කොලිෆයිඩ් ගහන එක වාසියක්. ඇත්තටම අපි බලාපොරොත්තු වෙනවා ඒ තරගාවලියත් හොඳින් කරලා ජයග්‍රහණය කරන්න. අපිට ඒ පොටෙන්ෂල් එක තියෙන කණ්ඩායමක් ඉන්නවා. අපිට ඇත්තටම අනෙක් ප්‍රශ්න ගැන කිව්වොත් ඒවා සාමාන්‍ය දේවල්. ක්‍රීඩකයෝ හොඳට කරද්දි හැමෝම හොඳ කියනවා. වැරදියට කරද්දි අපි ක්‍රීඩකයෝ විදියට ඒවා පිළිගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඕනේ. ඒක සාමාන්‍යයි. මම කියන්නේ අපිට පුළුවන් තරම් සපෝට් කරන්න. අපි කණ්ඩායමක් විදියට පෙන්නලා තියෙනවා ගිය අවුරුද්දේ ලංකාවේ තිබ්බ ඒවත් ඔක්කෝම ජයග්‍රහණය කළා. ඒක හොඳ ෂයින් එකක්. දෝෂාරෝපණය කරන්න ඕනේ නම් දින්නත් පැරදුනත් ඒක කරන්න පුළුවන්. අපි ක්‍රීඩකයෝ විදියට එකතුවෙලා ඉන්නවා. අපි අපේ ක්‍රීඩකයින්ව බැක් කරනවා. ඒ විශ්වාසය තියෙනවා. මෙතෙන ලේසි වෙන්නේ නෑ ඒ විශ්වාසය නැති කරන්න.” 

“මට තියෙන ප්‍රශ්නේ ක්‍රිකට් ගැනම හැමදාම මීඩියා කතා කරනවා. කෝ අනික් දේවල්. ඒවා ගැන කවදාවත් කථා කරන්නේ නෑ. මාර විදියට ලොකුවට ක්‍රිකට් ගැන කියනවා. ඒ දේවල් ගැන කතා කරලා අනෙක් ක්‍රිඩාත් උඩට ගන්නවා නම් ලොකු දෙයක්.” 

“මම හිතන්නේ තීරණාමක සාධකය වුණේ භානුකගේ ලකුණු 70 තමා. එතැන භානුකයි විනිඳුගෙයි පාට්නර්ශිප් එක. ‍ධනංජය හොඳට ආරම්භයේ ලකුණු ලබාගත්තා. චාමික හොඳ ඉනිමක් ලබාදුන්නා. ඒ දේ තමා ප්‍රධානම සාධකය වුණේ.”

Leave a Reply

Your email address will not be published.